Divaina - රට අගාධයකට ඇද දැමූ ආණ්ඩුව නැවත ත‍්‍රස්තවාදයකුත් දායාද කළා - පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1


 හැම දේකටම කථා කරන සිවිල් සංවිධාන ආගිය අතක් නෑ - පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. චන්‍ද්‍රසේන
 
rataඅනුර බාලසූරිය
 
හොඳට තිබුණු රට අගාධයට ඇද දැමූ වත්මන් ආණ්ඩුව නැවත ත‍්‍රස්තවාදයකුත් දායාද කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.
 
 බත්තරමුල්ල, නෙළුම් මාවත, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා,
 
 ලෝකයේ වෙනත් රටවල සුළු සිද්ධියක් සිදු වුණත් ඒ විෂය භාර ඇමැතිවරයා කනගාටුව ප‍්‍රකාශ කරනවා. එපමණක් නොව එම සිද්ධිය වළක්වා ගැනීමට නොහැකි වීම තුළ ඉල්ලා අස් වී ඇති අවස්ථාත් තිබෙනවා. නමුත් පෙරේදා (23 දා) දිනයේ අප රටේ අගමැතිවරයාගේ පාර්ලිමේන්තුවේ හැසිරීම හෙළාදකිනවා.
 
 එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පැවැති කාලයේදීවත් එක් දිනක මෙතරම් ප‍්‍රමාණයක් ජීවිත හානි වෙලා නෑ. මෙතරම් විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වී රටම මළ ගෙයක් බවට පත්ව තිබෙන අවස්ථාවක රටේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව කතා කරන්නේ ඉතා සැහැල්ලූවෙන් විහිලූ තහලූවෙන්. ඒ කතා කළ විලාශය පිළිබඳව අපට ඇත්තේ පිළිකුලක්.
 
 අගමැතිවරයා පාර්ලිමේන්තුවේ පෙරේදා (23 දා) කළ කතාව තුළම තිබුණේ ජාත්‍යන්තරය පිළිබඳවයි. ජාත්‍යන්තර වශයෙන් මේ ත‍්‍රස්තවාදය තුරන් කිරීමට උදව්ගන්නේ අගමැතිවරයාට මේ රටේ ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ කෙරෙහි විශ්වාසයක් නැති නිසාද?. ඔහුගේ විශ්වාසය තිබෙන්නේ ජාත්‍යන්තරය ගැන පමණයි. මේ තුළින් අගමැතිවරයා වෙන පැත්තකට බෝලේ පාස් කරන්න බලනවා.
 
 බෝම්බ හදන කල්ලියක් පුත්තලමෙන් අල්ලයි යන සිරස්තලයෙන් ‘දිවයින’ පුවත්පතේ 2019 ජනවාරි 18 ප‍්‍රවෘත්තියක් පළවුණා. මෙය අනෙකුත් මාධ්‍යවලත් පළවුණා. මෙම ප‍්‍රවෘත්තියෙන් බොහොම පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් කල්ලිය ආගමික සිද්ධස්ථාන පුපුරුවා හරිමින් රටේ ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමට කටයුතු කළ බවට ආරක්‍ෂක අංශ සැක පහල කරන බව. මේ එක් සාධකයක්.
 
 2016 නොවැම්බර් මස 18 වැනි දින ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අධිකරණ සහ බුද්ධශාසන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ කියනවා. අයිඑස්අයිඑස් සංවිධානය පිළිබඳ රටේ ජනතාව තුළ විශාල බියක් තිබෙනවා. උගත් වැදගත් කියන මුස්ලිම් හතරකට සම්බන්ධ තිස්දෙදෙනෙක් සිරියාවට ගොස් අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ බව. මෙය හැන්සාඞ් වාර්තාවේ සඳහන් වෙනවා.
 
 විජේදාස රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා මේ ප‍්‍රකාශය කළාට පසු ඇමැති මණ්ඩලයේ සිටි රාජිත, මංගල ඇමැතිවරු එය දැඩි ලෙස විවේචනය කළා. දැන් කියනවා ආරක්‍ෂක මණ්ඩලයට අගමැතිවරයා කැඳෙව්වෙත් නැහැ, ප‍්‍රභූවරුන්ට යවන ලිපිය ඔහුට ලැබුණෙත් නැහැ කියලා.
 
rata2 2015 සිට 2016 වන විට පොලිසිය භාරව සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ ඇමැතිවරු. 2016 සිටම ආරක්‍ෂක මණ්ඩලයට අගමැතිවරයා කැඳෙව්වේ නැද්ද. කැඳවූයේ නැත්නම් එසේ කළේ ඇයි කියලා ප‍්‍රකාශ කළ යුතුයි. මේ සියල්ල දැනගෙන සිට මේ අය දැන් තොත්ත බබාලා වගේ කටයුතු කරනවා.
 
 සිද්ධිය වුණාට පසු දැන් බලනවා කාගේ හරි පිටින් යවන්න. ඇති වූ සිද්ධිය පිළිබඳව ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් අත හෝදගන්න බෑ. මේ සියල්ලම වගකිව යුතුයි. රටේ ජනතාව දැන් කතා කරනවා මහින්ද රාජපක්‍ෂ ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ගේ අගය පිළිබඳව.
 
 කැබිනට් ඇමැතිවරයෙක් කියනවා ඔහුගේ තාත්තා මේ ගැන දැනුම් දුන් නිසා ඔහු එදා දේවස්ථානයට ගියේ නෑ කියලා. රටේ ජනතාවට වගකියන ඇමැතිවරු මෙහෙමද කටයුතු කරන්නේ.
 
 පොලිස්පතිවරයා ගැන කතා කළ යුතු නැහැ. නමුත් පොලිස්පතිවරයා පිළිබඳව නෙමෙයි අපට තිබෙන ප‍්‍රශ්නය මෙහි වගකිවයුතු අය උත්සාහ කරනවා මහබැංකු බැඳුම්කර කොල්ලයට කළ වැඬේම කරන්න. ඒ වගේ දැන් මේ සිද්ධියත් පොලිස්පතිවරයාගේ පිට වරද පටවන්න උත්සාහ කරනවා. සිද්ධියේ වගකීම පොලිස්පතිවරයාට ලඝු කරන්න හදනවා. ඒ විදියට නිලධාරියකුගේ පිටින් මේ සිද්ධිය යවන්න සූදානම් වෙන්න එපා.
 
 හොඳට තිබුණු රට අගාධයට දාපු මේ ආණ්ඩුව නැවත ත‍්‍රස්තවාදයකුත් දායාද කර තිබෙනවා. මේ අයට විරුද්ධව රටේ ජනතාව නැගී සිටීවි.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. චන්‍ද්‍රසේන මහතා- මේ රටේ හැම දේටම පසුගියදා පෙනී සිටි සිවිල් සංවිධාන කෝ. මේ සිදුවීමෙන් පසු පෙනෙන්නත් නැහැ. මේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාව සැහැල්ලූවට ගත යුතු දෙයක් නොවෙයි.
 
 වසර 30 ක් බැට කෑ පුද්ගලයන් අතර මමත් එක්කෙනෙක්. මේ යුද්ධය ලේසියෙන් අවසන් කරපු දෙයක් නොවෙයි. අගමැතිවරයා පෙරේදා පාර්ලිමේන්තුවේ කිව්වේ මෙය ගෝලීය ත‍්‍රස්තවාදය කියලා. බෝලේ වෙනත් පැත්තකට පාස් කරන්න සූදානම් වෙනවා.
 
 අගමැතිවරයා කියනවා මෙය අවසන් කරන්න බටහිර රටවල උදව් අවශ්‍යයි කියලා. මේවා තුළින් රට පාවා දෙන්න එපා. අපේ ආණ්ඩුව රට වෙනුවෙන් කළ යුතු දේ කළා. ආණ්ඩුව මේ සිද්ධිය මුල්කරගෙන වෙන වෙන න්‍යාය පත‍්‍රයන් ක‍්‍රියාත්මක කිරීමට යන බව ආරංචි තිබෙනවා.
 
 එජාපයෙන් නොච්චියාගම ප‍්‍රාදේශීය සභාවට තරග කරපු මුස්ලිම් ජාතිකයකු ළඟ පුපුරණ ද්‍රව්‍ය තොගයක් තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනාධිපතිවරයා එක පැත්තක අගමැතිවරයා එක පැත්තක. මෙහෙම රටකට යන්න බෑ. දැන් රටට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ආණ්ඩුවට දැන් කළ යුතුව ඇත්තේ ජනතාවට ආරක්‍ෂාව සපයන ආණ්ඩුවක් සාදාගැනීමට අවස්ථාව ලබා දීමයි.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles