Divaina - ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ දූෂණ පිළිබඳ සාක්‍ෂි විභාගය ක‍්‍රියාකාරී විදුලි සෝපාන 5 ක් ලක්‍ෂ 7.5 කට විකුණා නොගැලපෙන විදුලි සෝපාන 5 ක් ලක්‍ෂ 550 කට ගත්තා රෝහල් විදුලි කාර්මික ශිල්පී චන්දන ජයලත් හිරිඹුරේගමගේ - රාජ්‍ය දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

එරික් ගාමිණී ජිනප‍්‍රිය
 
 ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ භාවිතයේ පැවති අසාදු ලේඛණයට ඇතුළත් නොකරන ලද විදුලි සෝපාන 5 ක් ලක්‍ෂ 7.5 කට විකුණා රෝහලට නොගැලපෙන විදුලි සෝපාන 5 ක් ලක්‍ෂ 550 කට මිලදී ගත් බව ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ විදුලි කාර්මික ශිල්පී චන්දන ජයලත් හිරිඹුරේගමගේ මහතා පැවසීය.
 
 විදුලි කාර්මික ශිල්පී චන්දන ජයලත් මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ 2015 නොවැම්බර් 15 සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවූවා යැයි සැලකෙන දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමිනි. ඊයේ (23 දා) විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ සාක්‍ෂි විභාගය පැවති අතර එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියගේ සාක්‍ෂි විමසීම හමුවේ චන්දන ජයලත් මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
 
 2015 දේශපාලන පෙරළිය සිද්ධ වෙනකොට රෝහල් අධ්‍යක්‍ෂ ධුරයේ පුරප්පාඩුවක් තිබුණා. දේශපාලන වෙනසත් සමඟම වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා අධ්‍යක්‍ෂ පුටුවේ වාඩි වුණා. අපි සභාපති අතුල නන්ද ලියනගේ ගෙන් විමසා සිටියා එම පත්වීම පිළිබඳව. වෛද්‍ය සුසිත් සේනාරත්නට එම ධුරය සඳහා පත්වීමක් නැහැ කියලා අපි සිතුවා. සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු ප‍්‍රකාශ කර සිටියා අධ්‍යක්‍ෂ ධුරය සඳහා ඉදිරියේදී බඳවා ගැනීමක් කරන බව. නමුත් එහෙම කළේ නෑ. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එම පත්වීම පිළිබඳව විමසා සිටියා. සුසිත් සේනාරත්න මහතාට අධ්‍යක්‍ෂ ධුරය සඳහා පත්වීමක් හෝ සුදුසුකම් නොමැති බව දැන ගන්න ලැබුණා.
 
 රෝහලේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබුණා. ඔහුගේ බිරිඳ අධ්‍යක්‍ෂ ධුරයක් හොබවන ටෙලි චැනලින් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනයට ඇඳ ඉහපත් වල එක් පිටුවක ඡායා පිටපතක් ලබාගැනීම සඳහා රු. 3/= ක් ගෙවා තිබෙනවා. දුරකථනයෙන් සම්මුඛ සාකච්ඡා පවත්වා අයි. ටී. ආයතනයට පුද්ගලයකු බඳවා ගෙන තිබෙනවා.
 
 ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය පිළිස්සීම සඳහා ලක්‍ෂ 235 ක් වැයකර රෝහලට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා විශාල යන්ත‍්‍රයක් මිලදී ගෙන තිබෙනවා. එම යන්ත‍්‍රය ස්ථාපිත කර තිබෙන්නේ නිල නිවාසවල සිට මීටර් 10 ක් පමණ දුරින්. ඒ සඳහා පරිසර වාර්තාවක් ලබාගෙන නෑ.
 
 එම යන්ත‍්‍රය මිලදී ගැනීමෙන් පසුව කොන්ත‍්‍රාත්කරුවකුට පවරා තිබෙනවා. දැන් එම යන්ත‍්‍රයෙන් පොලොන්නරුව, මාතර වැනි ප‍්‍රදේශවලින් ගෙන එන සායනික අපද්‍රව්‍යයන් පුළුස්සනවා. කොන්ත‍්‍රාත්කරුට එම යන්ත‍්‍රය පවරා තිබෙන්නේ මසකට ලක්‍ෂ 9 ක් ගෙවීමේ පොරොන්දුව මත. නමුත් එම ගෙවීම මේ වනවිට පැහැර හැරලා තිබෙනවා. යන්ත‍්‍රය කොන්ත‍්‍රාත්කරුට පවරා දීමේදී රු.50,000/= ට අඩු නඩත්තු වියදම් ඔහු දැරීමට එකඟ වී තිබෙනවා. නමුත් මේ දක්වා යන්ත‍්‍රයේ සියලූ අලූත් වැඩියා සහ නඩත්තු වියදම් සඳහා රු. 100,000/= ක් පමණ වැය වී තිබෙනවා. රු. 50,000/= ට වැඩි වියදම් දැරිය යුතු වන්නේ රෝහල විසින්.
 
 රෝහලේ පැවති විදුලි සෝපාන පද්ධතිය හොඳ ක‍්‍රියාකාරී තත්ත්වයේ පැවතියා. එය නිෂ්පාදනය කර තිබුණේ ජපානයේ හිතාචි සමාගම විසින්. විදුලි සෝපානයේ අලූත්වැඩියා කටයුතු කළෙත් එම සමාගම විසින්. සුදු යකඩවලින් නිෂ්පාදනය කර තිබුණ එම විදුලි සෝපාන 5 ම ලක්‍ෂ 7.5 කට විකුණලා, තායිලන්තයෙන් ලක්‍ෂ 550 කට රෝහලට නොගැලපෙන විදුලි සෝපාන පද්ධතියක් මිලදී ගත්තා. එම විදුලි සෝපානය ස්ථාපිත කිරීම සඳහා ගොඩනැඟිල්ල කඩා වෙනස්කම් කිරීමට සිද්ධ වූවා. කලින් පැවති විදුලි සෝපානය ක‍්‍රියාත්මක වූයේ ත‍්‍රී ෆේස් විදුලි පද්ධතියකින්. නමුත් අලූත් සෝපානය එම විදුලි පද්ධතියෙන් ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූ නිසා අලූතින් විදුලි පද්ධතිය සකස් කිරීම සඳහා මිලියන 1.5 ක් වැය කිරීමට සිද්ධ වූවා.
 
 වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා
 
 ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරමින් සිටියදී රු. 350,000/= ක වැටුපකට ලංකා රෝහලේ උපදේශකයකු ලෙස කටයුතු කර තිබෙනවා.
 
 වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා විත්තිකරුවකු ලෙස නම් කිරීමට සුදුසුවන බැවින් ඔහුගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා කොමිසම හමුවේ සාක්‍ෂි දීමට කැඳවන ලෙස කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නියෝග කළේය. ඒ අනුව ඒ මහතා මැයි මස 3 වැනි දින පෙරවරු 9.30 ට කොමිසම හමුවට කැඳවන ලෙස කොමිසමේ ලේකම්වරයාට නියෝග කළේය.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles