Divaina - ත‍්‍රස්තවාදී තර්ජනය ගැන ජනපති අගමැති දැනුවත් නොකිරීම ගැන සෙවිය යුතුයි - ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


මහින්දට එරෙහිව ගොස් අගමැති බලයට ගේන්න උදව් කළත් අගමැතිගේ කි‍්‍රයාවන් ජාති ද්‍රෝහියි - අතුරලියේ රතන හිමි

මේවගේ කිසිම දෙයක් නොදන්න අගමැති කෙනෙක් ඉතිහාසයේවත් ඉඳලා නැහැ - දිනේෂ් ගුණවර්ධන

යළි රටේ ජනතාවගේ ජන ජීවිතය අස්ථිරයි... යුද්ධය අවසන් වුණාම බුද්ධි අංශ යොදා ගත්තේ මා ගැන දරුවන් ගැන සොයන්නයි මම ෆීල්ඞ් මාර්ෂල් වුණේ ගෝල්ෆේස් එකේ කඩල විකුණලා නොවේ - හිටපු හමුදාපති සරත් ෆොන්සේකා

බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු මත කි‍්‍රයාත්මක වී නැහැ - පාලිත රංගේ බණ්ඩාර

ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය ආවේ කොහොමද කියලා ජනපතිවත් අගමැතිවත් දන්නේ නැහැ - මහින්දානන්ද අලූත්ගමගේ


poli1අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

ත‍්‍රස්තවාදී තර්ජනයක් ගැන බුද්ධි අංශ ප‍්‍රධානීන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් නොකිරීම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කළ යුතු යයි සභානායක, ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (24දා) හදිසි නීති විවාදය ආරම්භ කරමින් පැවැසුවේය.

වේත‍්‍රධාරි නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (24දා) පෙරවරු 10.30 ට රැස්විණි.


නිවේදන සහ වාර්තා ඉදිරිපත් කළ පසුව මහජන ආරක්‍ෂක ආඥා පනත යටතේ හදිසි නීති රෙගුලාසි අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරිණි. එම රෙගුලාසි ඉදිරිපත් කරමින් සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා -

රටක් ලෙස ඇඟිල්ල දිගු කිරීම නොව මේ තත්ත්වයෙන් ගොඩ ආ හැක්කේ කෙසේද යන්න සොයා බැලිය යුතුයි. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන වැරදුන තැන සොයාගත යුතුයි. පල්ලිවලට, හෝටල්වලට පහරදෙන බව දැනගත්තේ අපේ‍්‍රල් 04. අපේ‍්‍රල් 07 දා පැවැති ආරක්‍ෂක මණ්ඩල රැස්වීමේදී ඒ ගැන කථා කළාද. තොරතුරු ලැබිලත් රටේ ජනතාව ආරක්‍ෂා කරන්න නොහැකි වීම ගැන අපි ලැජ්ජා විය යුතුයි. බුද්ධි අංශයට තොරතුරු ලැබුණාම කළයුත්තේ දුරකථනයෙන් අගමැතිට, ජනපතිට සහ කාදිනල්තුමාට දැනුම් දීමයි. බුද්ධි අංශ ප‍්‍රධානියා කළ යුත්තේ එහෙමයි. අගමැතිතුමාට කියලා නෑ. ජනාධිපතිව ගණන් අරගෙනත් නෑ. එහෙමනම් මේ බුද්ධි අංශ ප‍්‍රධානියා කාටද වැඩ කරන්නේ. ඇයි ඔහු නිහඬව සිටියේ. ඔහු පොලිස්පතිට ලියුමක් කියලා. එහෙම නොවේ කළ යුත්තේ වහා කි‍්‍රයාත්මක කළ යුතුයි. බුද්ධි අංශ ප‍්‍රධානීන් ඇයි මේ තොරතුරු වසන් කළේ. බුද්ධි අංශ ප‍්‍රධානීන්ව කවුරුන් හෝ මෙහෙයවනවා. ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානීන්ට කියලත් නෑ, මා ඉල්ලා සිටිනවා මේ ගැන සොයාබලන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න කියලා. හමුදාව ගැන, බුද්ධි අංශ ගැන දැනුමක් ඇති කෙනෙක් පත්කළ යුතුයි එය මෙහෙයවන්න. අද අපේ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නිකන් ඉන්නවා. බුද්ධි අංශවලට දොස් කියන්න බෑ. ඔවුන්ට තොරතුරු ආවා. මේ ආරක්‍ෂක අංශ නිහඬව ඉන්නේ කාට හරි දේශපාලන උදව් කරන්නද, මේ අයව කවුරුන් හෝ මෙහෙයවනවා. මේක අපේ රට. අපි දෙපාර්ශවයම එකතුවෙලා මේකට පිළිතුරු සෙවිය යුතුයි. ආරක්‍ෂක මණ්ඩලය අද දේශපාලනය කරනවා. ජනාධිපති විදේශගතව සිටියදී අගමැතිතුමා ආරක්‍ෂක මණ්ඩලය කැඳෙව්වා. ඒත් ආරක්‍ෂක මණ්ඩලයේ අය ආවේ නෑ.

poli2කොළඹ දිස්ත‍්‍රික් (එජනිස) මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා

හදිසි නීති විවාදයකදී රජය පළමුව කරන්නේ තිබෙන තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම. එහෙම දෙයක්වත් කරගන්න බැරි ආණ්ඩුවක් මේ. ආණ්ඩුව පිළිතුරු දියයුතු ප‍්‍රශ්න කීපයක් විපක්‍ෂ නායකතුමා ඊයේ මේ සභාවේදී අසා සිටියා. ඊට පිළිතුරු නෑ. කිසිම දෙයක් නොදන්නා අගමැති කෙනෙක් ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ සිට නෑ. මගේ පාසල් මිත‍්‍රයා මෙවැනි බංකොලොත්භාවයකට පත්වීම කනගාටුයි. මේ ව්‍යසනයේදී විදේශිකයන් පවා ඝාතනය වුණා.

ඉන්දීය තොරතුරු අංශය මේ ගැන දැනුම් දුන්නා. මේ වගේ ඉලක්ක සහගත ත‍්‍රස්ත ප‍්‍රහාරයක් ගැන දැනුම්දී තිබියදී, ජාත්‍යන්තර මූලාශ‍්‍ර දැනුම් දෙද්දී ඔබතුමන්ලා හැසිරී තිබෙන්නේ කොහොමද, මේ සභාවට ඇවිත් කියනවා අපි දන්නේ නෑ කියා. ආරක්‍ෂක අංශ, බුද්ධි අංශවල අයට පසුගිය අවුරුදු හතරමාර තුළ එළව එළවා පහර දුන්නා. ජනාධිපති, අගමැති අතර අර්බුද ඇතිවී රටක ආණ්ඩුවක් ගෙනයන්න බෑ.

දහස් ගණන් නිදැල්ලේ නිකුත් කර ඇති වීසා ගැන සොයා බලන්න. මේවා ආරක්‍ෂක ලේකම්ට කියා වැඩක් නෑ. පිටින් ගෙනැත් අත්දැකීම් නැති අය මේ අමාත්‍යාංශවල ලේකම්ධුරවලට දමා තිබෙනවා.

පත් කළ මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා

අවුරුදු තිහක යුද්දෙදීවත් එකම දිනක මෙවැනි ඛේදවාචකයක් සිද්ධ වුණේ නෑ. අද මා කතා කරන්නේ රට පැත්තේ සිට මිස ආණ්ඩුව පැත්තේ ඉඳලා නොවේ. මෙතනදී ආණ්ඩුව හෝ පුද්ගලයන් ආරක්‍ෂා කිරීම අදාළ නෑ.

අපිට අවුරුදු තිහක් ඒ යුද්ධය ඇදගෙන යන්න වුණේ දේශපාලකයන් හා ඇතැම් හමුදාපතිවරුන් නිසා. නිසි අයට වගකීම් පැවරුනු අවස්ථාවේදී ඉන් අපට ගොඩඑන්න හැකිවුණා. අද තත්ත්වය ඉතා භයානකයි. එල්. ටී. ටී. ඊ යට මේ තත්ත්වයට එන්න විශාල කාලයක් ගියා. නමුත් ඒ ත‍්‍රස්තවාදීන් එතැනින් පටන් ගත්තා. මේ ත‍්‍රස්තවාදීන් දෙවර්ගයේ අරමුණු වෙනස්.

එල්.ටී.ටී.ඊ යට ජාත්‍යන්තර සහාය ලැබුණා. මේ අයට ජාත්‍යන්තර සහාය නෑ. අපට තිබෙනවා දැන් ජාත්‍යන්තර සහාය. අද යළි රටේ ජනතාවගේ ජන ජීවිතය අස්ථිරයි. මේ තත්ත්වයට ආණ්ඩුව ගන්න කාටත් මුහුණ දෙන්න වෙනවා. එනිසා අප එක්වී කටයුතු කළ යුතුයි.

යුද්දෙන් පසුව අපේ රට ගිය මාර්ගය වැරදියි. යුද්දෙන් පස්සේ කානිවල් හැඟීමෙන් කටයුතු කළේ. අවදානමක් සිදුවිය හැකි බව බරපතල ලෙස තේරුම් ගත්තේ නෑ. ප‍්‍රමුඛත්වය රටක ආරක්‍ෂාව. ආර්ථිකය දෙවැන්නයි. අපේ දේශපාලකයෝ රටේ ආරක්‍ෂාව ගැන කළ අවධානය අඩුයි.

පසුගිය සිද්ධිය ගැන විදේශ බුද්ධි අංශ දැනුවත් කර තිබුණා. ඔවුන් දැනුම් දුන්නා. ජාතික බුද්ධි ප‍්‍රධානියාගේ ලිපිය ගැන ආරක්‍ෂක කවුන්සිලය කතා කළ යුතුයි. පොලිස්පති ගෙදර යැව්වා කියා විසඳුමක් නෑ. ඊට ඉහළින් වගකිවයුත්තෝ ඉන්නවා.

යුද්දෙ ඉවර වුනාම මම යෝජනාවක් කළා විශාල බුද්ධි අංශයක් ගොඩනැගිය යුතුයි කියා. ඒත් ඒවා එළෙස සිදුවුනේ නෑ. යුද්දෙ ඉවරවුනාම බුද්ධි අංශය පාවිච්චි කළේ අපි ගැන හොයන්න. අපේ දරුවන් යන එනතැන් හොයන්න.

මේ ප‍්‍රහාරය අඩුම ගානේ අවුරුදු හත අටක වැඩක්. එල්.ටී.ටී.ඊ යට රන්ජන් විජයරත්න ඝාතනය කරන්න අවුරුදු දොළහක් ගියා. අද මේ අයට නායකයෙක් ඇති. හිටපු හැම ආණ්ඩුවක්ම මේකට වගකිව යුතුයි. මට තවම තියෙන්නේ ඔබතුමා (මහින්ද රාජපක්‍ෂ මහතා වෙත අත දිගුකර) දුන් ආරක්‍ෂාව විතරයි. මම ත‍්‍රස්තවාදීන්ව විවේචනය කරලා දැන් මට ගහන්න පටන් ගනීවි.

ආරක්‍ෂක කවුන්සිලය ආරක්‍ෂක ලේකම් වගකීම් පැහැර හැරලා. ජනාධිපති දුර්වලයි කියන්නේ ඇමැති මණ්ඩලයත් දුර්වලයි. වෙන රටක වුනානම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙලා. නාමල් කුමාර කියන පුද්ගලයා දුන් ඔත්තුව තරමටවත් මධුෂ්ට දක්වපු උනන්දුවවත් මේ තොරතුරුවලට ලබා දුන්නේ නෑ. අගමැතිට, ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිට ආරක්‍ෂක කවුන්සිලයට එන්න කියලා නෑ. විපක්‍ෂයේ අය කීප දෙනෙකුට තමයි එන්න කියලා තියෙන්නේ. ආරක්‍ෂක කවුන්සිලයට විපක්‍ෂය කැඳවනවද ආරක්‍ෂක කවුන්සිලයට එන්න කිව්වේ නැතිනම් අගමැතිට ඒ ගැන දැනුම් දෙන්න තිබුණා. පාර්ලිමේන්තුවට ඇවිත් ඒ බව කියන්න තිබුණා. රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිව ආරක්‍ෂක කවුන්සිලයට කැඳෙව්වේ නැත්නම් ඒ ගැන කියා ඉල්ලා අස්වෙන්න තිබුණා. දැන් නිදහසට කරුණු කියලා වැඩක්නෑ. ආරක්‍ෂක විද්‍යාලයකට ගිහින් සුදුසුකම් ලැබූ අය ආරක්‍ෂක ලේකම්ධුරයට පත්කළ යුතුයි. දැන් උත්සව අවලංගු කරනවා. මැයි දිනය අවලංගු කරනවා. වෙසක් උළෙලත් අවලංගු කරයි. හැම දෙයක්ම දැන් රටේ අවලංගු කරනවා. අන්තිමට ඉතිරි වෙන්නේ අලවංගුව විතරයි. තවම මට ආරක්‍ෂාව සපයන්නේ ඔබතුමා (මහින්ද රාජපක්‍ෂ මහතා) දුන් ජීප් එකෙන්. ඒකත් මග හිටිනවා. මම ෆීල්ඞ් මාර්ෂල් වුණේ ගෝල්ෆේස් එකේ කඩල විකුණලා නොවේ. මට වඩා ආරක්‍ෂාව ගැන දන්නා කෙනෙක් මේ සභාවේ ඉන්වාද. ඉන්නව නම් මාගේ ෆීල්ඞ් මාර්ෂල් ධුරය මම එයාට දෙනවා. ඒ නිසා මගෙන් ප‍්‍රයෝජනයක් අරගෙන නෑ. අගමැති හමුවන්න පැය හතළිස් අටක් ගතවුණා.

poli3හාමුදුරුවරු කීපදෙනෙක්, ඞී. අයි. ජී ලා කීපදෙනෙක් මට නීතිය හා සාමය ඇමැතිකම දෙන්න එපා කියල පැවසූ බව ජනාධිපතිතුමා මට කිව්වා. රට ගොඩගන්නවා නම් ගොඩගමු. එහෙම නැත්නම් අපි සැප අරගෙන රට වළපල්ලට යවමු.

ති‍්‍රකුණාමල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ආර්. සම්පන්දන් මහතා (ද්‍රජාස)

ත‍්‍රස්ත ප‍්‍රහාර වලින් මියගිය සහ තුවාල ලැබූ සියලූ දෙනාට අපේ කනගාටුව සහ ශෝකය පළකරනවා. මෙම ප‍්‍රහාරයන් පිළිබඳව සත්‍ය දැන ගැනීම සඳහා ස්වාධීන පරීක්‍ෂණයක් සිදුකළ යුතුයි. ජාත්‍යන්තර සහාය මෙම ප‍්‍රහාර වලට ලැබුණාද යන්නත් සොයා බැලිය යුතුයි. රටේ තිබුණු සන්සුන් ස්වභාවය සම්පූර්ණයෙන් බිඳ වැටීමට ලක්වුණා.

තාරක බාලසූරිය මහතා මුලසුනට පැමිණියේය. පුත්තලම දිස්ත‍්‍රික් මන්ත‍්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා (එජාප) - බුද්ධි අංශ අපි දුර්වල කරලා නැහැ. බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු මත ක‍්‍රියාත්මක වී නොතිබීමයි මෙතන තිබෙන ප‍්‍රශ්නය. ආරක්ෂක ලේකම් ප‍්‍රකාශ කළා පල්ලිවලට ආරක්ෂාව සැපයූ බවට. ඒත් එහෙම කිසිම ආරක්ෂාවක් යොදවල තිබුණෙ නැහැ.

වනාතවිල්ලූවෙදි තමයි මේ සිද්ධිවල ආරම්භය සිදු වුණේ. අවි ආයුධ සොයාගන්න ලැබුණා. ඒ පිළිබඳවත් නිසියාකාර පරීක්‍ෂණ සිදුවුණේ නැහැ.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී විජිත හේරත් මහතා (ජවිපෙ) - ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදීන්ගේ මේ ප‍්‍රහාරය අපි පිළිකුළෙන් හෙළා දකිනවා. මේ ඉස්ලාම් අන්තවාදීන්ගේ දර්ශනය නම් ඔවුන්ගේ ආගම හැර අනෙක් ආගම් ලෝකය තුළින් තුරන් කළ යුතු බවයි.

මේ ප‍්‍රහාරවලින් මියගිය තුවාල ලැබූ අහිංසක මිනිස් ජීවිත පිළිබඳ ආණ්ඩුව පැත්තෙන් වගකීම ගන්නෙ කවුද? අපේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ සිටිය පුද්ගලයකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2014, 2015 වසරේදී රටේ හොඳම අපනයනකරුවා ලෙස සම්මාන ලබාගත් පුද්ගලයා තමයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. දේශ කීර්ති, දේශ ශක්ති සම්මානවලින් ද ඔහු සම්මාන ලබලා තිබෙනවා. ඔහු වැරදි කර තිබෙනවා නම් ඔහුට අවශ්‍ය දඬුවම් ලබා දෙන්න. ඔහුගේ දරුවන් වැරදි කර තිබේ නම් ඔවුන්ටත් දඬුවම් ලබා දිය යුතුයි. පක්ෂ, පාට, භේද නොබලා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම අත්‍යවශ්‍යයයි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා -

අපි ත‍්‍රස්තවාදයට එදා වගේම අදත් විරුද්ධයි. දැන් අලූත් ත‍්‍රස්තවාදයක් අපේ රටට ඇවිල්ලා. අයි එස් ත‍්‍රස්තවාදය අපේ රටට ඇවිල්ලා. මේක ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය.

ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය හමුවේ ලෝකයේ පහළොස් දහසක් පමණ මිය ගොස් තිබෙනවා. විසිනම දහසක් තුවාල ලබා අපේ තිබෙනවා. ආරක්ෂක අංශ ශක්තිමත්. ඒ නිසා මේ ප‍්‍රහාරයට සම්බන්ධ යැයි සැක පිරිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා (එජනිස) -

මේ ශෝකජනක අවස්ථාවේ දී සංහිඳියාව කුමක්ද යන්න පිළිබඳව කාදිනල්තුමාත් ක‍්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්නුව. එමෙන්ම සංඝයා වහන්සේලා ප‍්‍රමුඛ අනෙක් ආගමික නායකයන්ද එය කළා. ඔවුන්ට අපේ ප‍්‍රණාමය පුද කරනවා.

ඉස්ලාම් ආගමික අන්තවාදය ව්‍යාප්ත වීමට සමාජ ජාලා වෙබ් අඩවි ප‍්‍රබල ලෙස දායකත්වයක් දුන්නා. එම නිසා මෙම වෙබ් අඩවි තහනම් කළ යුතු බවට මං කැබිනට් මණ්ඩලයේදීත් ප‍්‍රකාශ කළා. ඒ වගේම ත‍්‍රස්තවාදය පරාජය කිරීමට නම් විධායක ජනාධිපති ධුරය රටේ ක‍්‍රියාත්මක විය යුතුයි. එය අහෝසි කරනවාට ශ‍්‍රීලනිපය විරුද්ධ වෙන්නේ මේ හේතු නිසාවෙනුයි.

poli4සංචාරක සංවර්ධන වනජීවි සහ ක‍්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා

ත‍්‍රස්තවාදයට එරෙහි සටන ඉදිරියට ගෙන යෑමේදී අපි භේද භින්න වෙන්න හොඳ නැහැ. කාටවත් ඇඟිල්ල දිගු කරලා දැන් ප‍්‍රයෝජනයක් සිදු වෙන්නෙ නැහැ. මෙවැනි අවස්ථාවකදී හදිසි නීතිය අවශ්‍යයි. මේ ප‍්‍රහාර වලින් අවතැන් වූවන් ගැන සොයා බැලීමට අධිකාරියක් පත් කළ යුතු බවට නිමල් සිරිපාල මන්ත‍්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව මං අගය කරනවා.

පත් කළ මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි - ඉස්ලාම් ත‍්‍රස්තවාදය ගැන කවුරුත් කතාකරන්න බයයි. සුළු ජාතීන් ඡන්දවලට නැටවෙන ව්‍යවස්ථාවක් හදපු ජේ. ආර්. ජයවර්ධන තමයි මේ රටේ ජාතිවාදය ඇති කළේ. ඒ ව්‍යවස්ථාවෙන් රට අස්ථාවර වුණා.

අපි රාජපක්ෂ මහතාට එරෙහිව ගොස් වත්මන් අගමැති බලයට ගේන්න උදව් කළා. ඒත් අගමැතිවරයාගේ ක‍්‍රියාවන් ජාතිද්‍රෝහියි. බෞද්ධයන් ගේ පිළිම කඩන ත‍්‍රස්තවාදයක්් ආරම්භ වෙලා තිබෙනවා. දැන් අපේ රටේ සංස්කෘතිය පිළිඅරගෙන ඔය කළු ලෝගු අතඅරින්න කියලා අවංක ඉස්ලාම් භක්තිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. නැත්නම් මේ රට ලේ විලක් බවට යළිත් පත්වේවි. මේ ආගම් වාදයෙන් ගැලවෙන එක මුස්ලිම් ජනතාවගේ වගකීමක්. බංගලිදේශයේ ඉන්දුනීසියාවේ ඉස්ලාම් භක්තිකයන් ඉන්නවා. හැබැයි මෙහෙම ඔළු වහන සෙල්ලමක් නැහැ.

මයන්ත දිසානායක මහතා මුලසුනට පැමිණියේය.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප) - අපි කිසිම කෙනෙක් ත‍්‍රස්තවාදය අනුමත කරන්නේ නෑ. අයි එස් අයි. එස්. හෝ වෙනත් අන්තවාදී සංවිධාන අපි පිළිගන්නේ නැහැ. තව්හිද් ජමාත් ගැන පසුගිය වසර වල වාර්තා පළවුණා. සහරාන් කාතන්කුඩි පල්ලියෙ සිදු කළ සී. ඞී. පටය අපි ලබා දුන්නා. සහරාන්ව අත්අඩංගුවට නොගත්තේ ඇයි කියා ආරක්ෂක උපදේශක කාරක සභා රැස්වීමේදී අපි විමසුවා. මුස්ලිම් සමාජය මෙවැනි ක‍්‍රියා හෙළා දකිනවා. විජයදාස රාජපක්ෂ මහතා මා ගැන විවිධ ප‍්‍රකාශ කළා මම කිසිම අවස්ථාවක එතුමාට චෝදනා කර නෑ. සත්‍ය කතා කරන්න. නමුත් මළ මිනී උඩින් දේශපාලනය කරන්න එපා.

ජල සම්පාදන හා නගර සංවර්ධන ඇමැති රවුෆ් හකීම් මහතා -

පාස්කු ඉරුදින අප දුටුවේ බිහිසුණුම ත‍්‍රස්ත ක‍්‍රියාවක්. කතෝලික පූජකවරුන්ට හා ජනතාවට මා ස්තුති කරනවා. ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් අනුව සන්සුන්ව කටයුතු කිරීම ගැන. ඕනෑම ආගමක නොමග ගිය පුද්ගලයන් ඇති බව පවසමින් ආගමික නායකයන් කතා කළා. අප ක‍්‍රිස්තියානි හා අනෙකුත් ජාතිකයන් සමග ඉතා සහයෝගයෙන් කටයුතු කළා. අපි මේක දේශපාලනීකරණය කරන්නේ නැතිව මේ ම්ලේච්ඡ කණ්ඩායම මුලිනුපුටා දැමීමට කටයුතු කරමු. ත‍්‍රස්තවාදී සංවිධානයක අවසන් මාරාන්තික අවිය මුලින්ම පහරදීම අපි දැක නෑ.

න්‍යෂ්ටික අවියක් මුලින්ම පාවිච්චි කරන්නේ නෑ. ඒත් එය මෙතැන කර නෑ. මේ අය යම් ඉල්ලීමක් හෝ දුක්ගැනවිල්ලක් උදෙසා නොවේ මෙහෙම කළේ. උන්මත්තකයෝ. යම් මානසික කම්පනයකට ලක් වූ කල්ලියක්. අප එක්ව කටයුතු කළොත් මේ කල්ලිය මුලිනුපුටා දැමීම අසීරු නැහැ. අපි එකිනෙකාට ඇඟිල්ල දිගු කර සතුරට ප‍්‍රයෝජනයක් ලබා ගැනීමට ඉඩ දිය යුතු නෑ. අප සියලූම දෙනා වරදකරුවෝ. දැන් විචක්‍ෂණශීලීව අප වැඩ කළ යුතුයි.

මහනුවර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී (එජනිස) කෙහෙළිය රඹුක්වැල්ල මහතා -

නොපෙනෙන හස්තයක් මේ පිටුපස තිබෙන බව සභානායකවරයා කීවා. එවැනි ප‍්‍රකාශයක් කරමින් තමන්ගේ වගකීමෙන් බේරෙන්න උත්සාහ කිරීම ගැන ලැජ්ජාවට පත්විය යුතුයි. අද විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටීමක් තිබෙන බව පෙන්වනවා. මේ බුද්ධි අංශ ලිපිය නොලැබුණා කියා අගමැතිට කිව හැකිද? ඇමැති මණ්ඩලය නොදැන සිටි බව කිව හැකිද? සැඟවුණු හස්තයක් තිබුණා නම් අවුරුදු හතරහමාරක් එය සොයාගන්න බැරිවුණාද? එහෙම නම් ආණ්ඩුවකින් ඇති වැඩක් තියෙනවද? තමන් අසාර්ථකයි කියන එක පිළි අරගත යුතුයි. අපෙන් වරදක් වුණා කියා පිළිගන්න. ජනාධිපති සහ අගමැති එකතු වෙලා මේකට පිළියම් යොදන්න.

කඳුරට නව ගම්මාන හා යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන ඇමැති පලනි තිගාම්බරම් මහතා -

වෙනත් රටක මෙවැනි දෙයක් සිදු වූවා නම් වගකිවයුතු පිරිස් මේ වන විට අස් වී ගොස් හමාරයි. රට ගැන හිතලා මේ ත‍්‍රස්තවාදය නැවැත්වීමට කටයුතු කළ යුතුයි. අපිට මේ අවස්ථාවේදී ආණ්ඩුව රකින්න අවශ්‍ය නැහැ. අපි ඇත්ත කතා කරමු.

poli5විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා -

ත‍්‍රස්තවාදීන් කවුද යන්න අපි හඳුනා ගත යුතුයි. මුස්ලිම් ජනතාව හැම අයෙකුම ත‍්‍රස්තවාදීන් නොවේ. මුස්ලිම් ජනතා නියෝජිතයන්ටත් මෙහිදී වගකීමක් පැවරෙනවා. මුස්ලිම් නායකයන් ඇසුරු කළ උදව් ලබාගත් පිරිස් මේ අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්නට පුළුවන්. එහිදී මේ සම්බන්ධ පරීක්‍ෂණවලට අකුල් නොහෙළිය යුතුයි. මේ තත්ත්වය උදාවනතුරු හොඳම ගමනාන්තය වූ ශ‍්‍රී ලංකාව අද සංචාරකයන්ට තහනම් කලාපයක් වෙලා.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා (එජනිස) -

අපේ රටෙන් තුරන් කළ ත‍්‍රස්ත භීතිය යළි මේ රටට ගෙන ආවේ කවුද? ත‍්‍රස්ත භීතිය නැති රටක් තමයි අපි භාර දුන්නේ. පාරේ යන්න එන්න බැරි තත්ත්වයකට ආණ්ඩුව මේ රට ගෙන ආවා. ගෝලීය ත‍්‍රස්තවාදය කියලා මේ පාපකර්මයෙන් බේරෙන්න බැහැ.

ආගම්වාදය බෝ කරන සංංවිධාන තහනම් කරන්න පාලකයෝ බයද? අයිඑස්අයිඑස් ප‍්‍රහාරයේ වගකීම භාර ගත්තලූ. ඒක ඇත්තද? ආරක්‍ෂක ලේකම් කියනවා. හෝටල්වල ආරක්‍ෂාව අපට අදාළ නැතිලූ. කවුද මේ නල්ලමලේ ආරක්‍ෂක ලේකම්.

බුද්ධි අංශ අඩපණ කළා. හමුදා කඳවුරු අස්කර ගත්තා. රණශූර රණවීර පදක්කම්ගත් බුද්ධි අංශ අද හෝටල්වල සේවය කරනවා. ඉස්ලාම් අන්තවාදය වැඞීමට අවශ්‍ය වටපිටාව හදන්න තමයි බුද්ධි අංශ අඩපණ කළේ.

ගෝලීය ත‍්‍රස්තවාදය යන වචනය දැන් ගෙනවිත් තිබෙනවා. ඒ ත‍්‍රස්තවාදය මැඬීමට ගෝලීය ආරක්‍ෂක අංශ අවශ්‍ය වෙනවා. එතකොට ඇමෙරිකාවට අවශ්‍ය මිලිටරි තිප්පොළ රට තුළ හදන්න අගමැතිට පුළුවන් වෙයි.

හරින් ප‍්‍රනාන්දුගේ තාත්තා බුද්ධි අංශ ලොක්කා වෙලා හිටියා නම් මේ ප‍්‍රහාරය මෙතරම් දුරදිග නොයන්න තිබුණා. මද්‍රසා නම් අරාබි පාසල් තුළ ළමයින්ව මරාගෙන මැරෙන්න මානසිකත්වය හදනවා.

ඉබ‍්‍රාහිම් නම් ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයාව ජවිපෙ අද ශුද්ධ කරන්න හදනවා. එයාට සම්මාන ලැබිලා තිබෙනවාලූ. සම්මාන දුන්නාට අපි එයාට ජාතික ලැයිස්තු අපේක්‍ෂකත්වය ලබා දීලා නැහැ.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා -

රටේ තුන්වැනි ත‍්‍රස්තවාදය අද ව්‍යාප්ත වී තිබෙනවා. මෙය ගෝලීය ත‍්‍රස්තවාදයයි. ආණ්ඩුවක් විදිහට අපි මෙහි වගකීම භාරගන්නවා. හැබැයි ආරක්‍ෂක ඇමැති හෝ නීතිය සාමය ඇමැති එජාපයේ නොවේ ඉන්නේ. හැම ආරක්‍ෂක ඇමැතිවරයකුටම නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයකු හිටියා. ඒත් දැන් රටේ එහෙම දෙයක් ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ.

poli6හර්ෂණ රාජකරුණා මහතා මුලසුනට පැමිණියේය. යාපනය දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්දා මහතා (ඊපීඞීපී) -

හදිසි නීතිය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කරන්නට යොදා නොගත යුතුයි. හදිසි නීතියටත් මානසික මුුහුණුවරක් තිබිය යුතුයි.

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා -

මිනිස්සුන්ගේ මරණයන් උඩින් දේශපාලනය කරන මාධ්‍ය මේ රටේ තිබෙනවා. පණිවිඩකරුට වෙඩි තියන තත්ත්වයක් මට උදා වුණා. මම ඔය සිද්ධිය වෙන වෙලාවේ සිටියේ බදුල්ලේ පල්ලියේ. අසනීපව සිටින මගේ පියා මෙම සිද්ධිය පිළිබඳව දැනගෙන සිටියා නම් පොලිසියට මේ ගැන ආරංචි නොවුණේ ඇයිද කියන එකයි මම ප‍්‍රශ්නයට නැඟුවේ.

දේශපාලනය කරන අන්තවාදීන් පාර්ලිමේන්තුවේ ඉන්නව.

රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස) -

තවුෆීත් ජමාත් නම් සංවිධානයට ක‍්‍රියාත්මක වෙන්න බාධාවක් රටේ තිබුණෙ නැහැ. ඔවුන්ට නිදහසේ වැඩෙන්නට අවශ්‍ය වටපිටාව රටේ දුර්වල ආරක්‍ෂාව විසින් සපයා තිබුණා. පොලිස්පති මේ ප‍්‍රහාරය දැන ගත්තා නම් එය අගමැතිතුමාට නොදැන්වූවා යැයි සිතන්නෙ කොහොමද? පණිවුඩය දැනුම් දුන් බව තමයි අපට හිතන්න වෙන්නේ.

මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා -

අයිසීස් ත‍්‍රස්තවාදයේ අරමුණු උපරිම ව්‍යසනයක් ලෝකයට සිදු කිරීමයි. දුප්පත් මිනිසුන් අවි අතට ගැනීමයි. අප මෙතෙක් දැක තිබුණේ. ඒත් මේ ත‍්‍රස්තවාදීන් බීඑම්ඩබ්ලිව් වලින් ඇවිත් හෝටල්වලට බෝම්බ තියනවා. ඔවුන්ට කිසිදු ආර්ථික අහේනියක් නැහැ. උමතු ආගමික අන්තවාදය ව්‍යාප්ත කිරීම පමණයි ඔවුන්ගේ අරමුණ.

මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා (එජනිස) -

ප‍්‍රහාරවල වගකීම භාරගන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. ජාතික ආරක්‍ෂාව මෙතරම් පහත් තත්ත්වයට වැටුණෙ ඇයි? ආරක්‍ෂක කවුන්සිලයේ මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ජාතික ආරක්‍ෂාව යහපාලන දේශපාලන න්‍යාය පත‍්‍රයේ තිබුණේ නැහැ.

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් මහතා -

මේ ප‍්‍රහාරයන් අපි හෙළා දකිනවා. අන්තවාදීන් පිරිසක් මේ කටයුතුවල යෙදිල තිබෙනවා. මුස්ලිම් ජාතිකයන් අද බයෙන් සිටිනවා.

කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා (එජනිස),

මේ ප‍්‍රහාර සම්බන්ධයෙන් එකිනෙකාට ඇඟිලි දිගු කරන එක දැන්වත් නතර කළ යුතුයි. ජනාධිපති සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවා තිබෙනවා. අපි එයට සහභාගි වී රටේ ආරක්‍ෂාව ගැන තීන්දු තීරණ ගනිමු. මුස්ලිම් ජනතාව මේ අවස්ථාවේදී භීතියට පත් වී තිබෙනවා.

මුදල් ඇමැති මංගල සමරවීර මහතා,

අපි සියලූ දෙනා කම්පනයට පත් වී සිටිනවා. ප‍්‍රහාරයෙන් පසුව සෞඛ්‍ය, ආරක්‍ෂක හා පොලිසිය මෙන්ම මාධ්‍ය ආයතන ද ඉතා වගකීමෙන් යුතුව කටයුතු කළා. රටේ කැළඹීමක් ඇතිවන ආකාරයට මාධ්‍ය මෙහිදී කටයුතු කළේ නැහැ. මෙය දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කළ යුතු අවස්ථාවක් නොවේ.

ආගම් අන්තවාදය සමඟ පැටවුණු ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයත් සමඟ අපට අද සටන් කිරීමට සිදුවෙලා තිබෙනවා.

කර්මාන්ත හා වාණිජ කටයුතු අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා,

පාස්කු ඉරිදා දිනය කළු ඉරිදා දිනයක් බවට පත්වුණා. අපි මේ ප‍්‍රහාරයන් හෙළා දකිනවා. රටේ සංචාරක ක්‍ෂේත‍්‍රයට ද මෙමඟින් විශාල පහරක් එල්ල වුණා.

ආරක්‍ෂක අංශ මේ ප‍්‍රහාර පිළිබඳව දැනගෙන තිබියදීත් නිසි පරීක්‍ෂණ සිදු නොකළේ ඇයි? ඉබ‍්‍රාහිම් නමැත්තා වරෙක මාව මුණගැසීමට අමාත්‍යාංශයට ඇවිත් ව්‍යාපාර කටයුත්තක් පිළිබඳව කතා කළා. ඡායාරූපයක් ද ලබාගත්තා.

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා,

රටෙහි අනාරක්‍ෂිත තත්ත්වයක් පවතින බැවින් පාර්ලිමේන්තුව ලෙස වගකීමෙන් කටයුතු කළ යුතුයි. අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයේ මෙම තවුපිත් ජමාද් සංවිධානය අක්කර 75 ක ප‍්‍රදේශයක පුහුණුවීම් කර තිබෙනවා. ඔවුන්ට විදේශ පුහුණුව ලැබුණ ද කියන සැකය මතු වෙනව.

සරත් ෆොන්සේකා මහතාගේ පළපුරුද්ද ප‍්‍රයෝජනයට ගැනීම මේ අවස්ථාවේදී ඉතා වටිනවා.

කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා (එජනිස),

මේ ප‍්‍රහාරවල වගකිවයුත්තා කවුරුද යන්න හෘද සාක්‍ෂියට එකඟව ඔබත් මමත් දන්නවා. රජයත් මෙයට වගකිව යුතුයි. කොකේන් අල්ලනකොට, හෙරොයින් අල්ලනකොට එහි ගෞරවය ගන්න එනවා නම් මෙහි වගකීමත් භාර ගැනීමට ඉදිරිපත් විය යුතුයි. රුවන් විජයවර්ධන මහතාව ආරක්‍ෂක කවුන්සිලයට කැඳවන්නෙ නැතිනම් ඒ ආරක්‍ෂක කවුන්සිලයෙන් ඇති වැඬේ කුමක්ද? ජාත්‍යන්තරය හමුවේ හොඳ සහයෝගයක් ලබාගන්න පුළුවන් කෙනා ආණ්ඩුව ඇතුළෙ ඉන්නව. ඒ වගේම ආරක්‍ෂාව ගැන හොඳටම දන්න කෙනාත් ආණ්ඩුවේ ඉන්නව. මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහායත් අවශ්‍ය නම් ගන්න.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල මහතා,

රටේ ජනාධිපති, අගමැති, විපක්‍ෂනායක දේශපාලන මතවාද පසෙකලා එකට එක් වී මේ ඛේදවාචකය අවසන් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා අපේ සහායත් ලබාදෙනවා.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා (එජනිස),

ප‍්‍රදේශවාසීන් ස්වෙච්ඡාවෙන් පැමිණ මේ විපතට ලක්වූවන් වෙනුවෙන් සේවය කළා. මේකෙ වගකීම කවුරුහරි දැරිය යුතුයි. අගමැති හා ජනාධිපති වගකීම භාරගත යුතුයි.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා (එජාප),

මේ මරාගෙන මැරුණු බෝම්බකරුවෝ ඉගෙනගත් තරුණයන් බව හෙළි වී තිබෙනවා. ඔවුන්ව මෙවැනි තත්ත්වයකට පෙළඹුවේ කවුද? මව්වරු, කුඩා දරුවන් ඝාතනය වුණා. කිසිවකුට අගතියක් නොකළ අහිංසකයන්. මේ ත‍්‍රස්තවාදීන්ට සමාව දෙන්න හැකියාවක් නෑ. ඔවුන් සහමුලින් විනාශ කළ යුතුයි. අත්අඩංගුවට ගන්නා අයට සමාව ලැබේවිද ඇප ලැබේවි ද කියා සැකයක් තිබෙනවා.

මහනුවර දිස්ත‍්‍රික් (එජනිස) මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා,

ආසියාවේ සිදුවූ දැවැන්තම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය තමයි පසුගියදා සිද්ධ වුණේ. රටේ බලවත්ම ත‍්‍රස්තවාදය තුරන් කළ රටට අගමැතිතුමා කියන ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය ආවේ කොහොමද. අගමැති දැන්නෙත් නෑලූ. ජනාධිපති දන්නෙත් නෑලූ. මේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි. මරාගෙන මැරුණ අයගේ ෆේස්බුක්වලට මම ගියා. මේ ආණ්ඩුවේ ප‍්‍රබල අය මේ මිනීමරුවන්ගේ ෆේස්බුක්වල ඉන්නවා.


කොකේන් අල්ලද්දී ගෞරවය ලබාගන්නා පුද්ගලයා මේ ඛේදවාචකයේ වරද පිළිගන්න මැලි ඇයි? - කුමාර වෙල්ගම අසයි


poli7අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ

කොකේන් අල්ලද්දී මාධ්‍ය හමුවට පැමිණ එහි ගෞරවය ලබාගැනීමට හැකිනම් මෙම අමිහිරි ඛේදවාචකයේ වරද පිළිගන්න අදාළ පුද්ගලයා මැලිවන්නේ මන්දැයි කළුතර දිස්ත‍්‍රික් (එජනිස) මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

මෙම සිද්ධියේ වගකීම භාරගත යුත්තේ කවුරුන්ද යන්න හෘද සාක්‍ෂියට අනුව ඔබත් මමත් දන්නවා. ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාව ආරක්‍ෂක කවුන්සිලයට කැඳවන්නේ නැත්නම් ඒ ආරක්‍ෂක කවුන්සිලයෙන් ඇති වැඬේ මොකක්ද?

මෙම ත‍්‍රස්තවාදය මැඬපවත්වන්න ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. ඒ සඳහා හොඳම පුද්ගලයා ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. ඒ අගමැතිතුමා. ඒ වගේම ආරක්‍ෂාව සම්බන්ධයෙන් හොඳින් දන්න කෙනාත් ආණ්ඩුවේ ඉන්නවා. ඒ සරත් ෆොන්සේකා මහතා. ඒ ගැන මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකතුමාත් පැවැසුවා යැයිද කුමාර වෙල්ගම මහතා කීවේය.


අගමැති මේ හදන්නේ රටට ඇමරිකන් හමුදාව ගේන්නයි - විමල් වීරවංශ

vimalඅජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ

ඉස්ලාමීය ත‍්‍රස්තවාදය කියා නොකියා මෙය ගෝලීය ත‍්‍රස්තවාදයේ කි‍්‍රයාවක් බවට අගමැතිවරයා පවසන්නේ රට තුළට ඇමරිකානු හමුදාව ගෙනඒමේ බලාපොරොත්තුවෙන් යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

හදිසි නීති විවාදයට එක්වෙමින් වීරවංශ මහතා මේ බව කීවේය. හෙතෙම මෙසේද කීය.

අගමැතිවරයා කියනවා මේක ගෝලීය ත‍්‍රස්තවාදයලූ. ති‍්‍රකුණාමලය මුහුදු සීමාවේ ඇමරිකානු යුද නැවක් නතර කරලා. යුද ගුවන් යානා ඒ නැවේ ඉඳලා කටුනායකට එනවා. රේගුවේ කිසිම පරීක්‍ෂාවකින් තොරව භාණ්ඩ ගොඩබානවා. ඩෙටනේටර් මේ තරම් තොගයක් ලංකාවට ආවේ කොහොමද? ඩොනල්ඞ් ට‍්‍රම්ප් අගමැතිට පැවසුවාලූ උපරිම සහාය ලබාදෙනවා කියලා. මේ හදන්නේ ඇමරිකානු හමුදාවට රට විවෘත කරන්න.

අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. නල්ලමලේ ආරක්‍ෂක ලේකම් කියනවා හෝටල්වල ආරක්‍ෂාව හෝටල් විසින්ම බලාගන්න ඕනෑ කියලා. මෙහෙම ආරක්‍ෂක ලේකම් කෙනෙක් රටට මොනවටද? මෙයා කාලයක් ඔලිම්පික් සභාපති වෙලත් හිටියලූ. ඒක තමයි එක පදක්කමක්වත් රටට ගේන්න බැරි වුණේ.

රටේ බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැම්මා. එහෙම කළේ මේ ත‍්‍රස්තවාදීන්ට වැඩෙන්නයි. පල්ලි යන්න එපා කියලා කියන්න හරීන් ප‍්‍රනාන්දු මහත්තයාට නම් තාත්තා හිටියා. අපේ අනිත් දරුවන්ට එහෙම කියන්න කවුරුත් හිටියේ නෑ. ආරක්‍ෂක ලේකම්කම දෙන්න තිබුණේ හරීන්ගේ තාත්තටයි. යටත් විජිත හේරත් කියනවා කුළුබඩු විකුණලා සම්මානගත් අහිංසකයෙක්ලූ ජාතික ලැයිස්තුවට දැම්මේ. එයා අහිංසකයෙක් නම් කොහොමද ලේලි දරුවෝ දෙන්නා එක්ක බෝම්බයක් පුපුරුවාගෙන මියයන්නේ.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles