බඩල්කුඹුර - රවිඳු ගුණතිලක
විවිධ භාණ්ඩ ලබාදෙන බව පවසමින් පිරමීඩ ක්රමයට මුදල් එකතු කිරීමේ නිරත වෙමින් බැංකු පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනාවන් දෙකකට වැරදිකරුවන්වූ චූදිතයන් දෙදෙනකුට සියඹලාණ්ඩුව මහෙස්ත්රාත් කුෂිකා කුමාරසිරි මෙනෙවිය විසින් එක් චූදිතයකුට එක් චෝදනාවකට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කොට එක් චෝදනාවකට රුපියල් ලක්ෂ 5 බැගින් දඩ නියම කළාය. ඒ අනුව එක් චූදිතයකුට රුපියල් දස ලක්ෂයක දඩයක් සහ වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම විය. පසුව එම සිරදඬුවම වසර දහයකට අත්හිටවනු ලැබීය.
මෙලෙස දඬුවම් නියමවූයේ ගම්පොල මහර ගෙඟ්වත්ත පදිංචි කොඩිප්පිටිය දොන් ධනුෂ්ක ලක්මාල්,බෙලිහුල්ඔය පදිංචි දෙනගම විදානලාගේ චමින්ද මධුසංඛ යන දෙදෙනාටය. මෙම චූදිතයන් දෙදෙනා 2014 මාර්තු මස 03 වෙනි දින ඇතිමලේ ප්රදේශයේදී සෝලා සූර්යකෝෂ විදුලි පද්ධති ලබාදෙන බවට එක් අයකුගෙන් රුපියල් 61,200 ලබාගෙන ඇති අතර පිරමීඩ ක්රමයට එයට සාමාජිකයන් බඳවා ගැනීම පිළිබඳව ගම්වාසීන් දැනුවත් කරමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයාට ලද උපදෙස් මත, ලංකා දණ්ඩ නීති සංග්රහයේ 113 සහ 102 වගන්ති සමග කියවෙන 1988 අංක 30 දරණ බැංකු පනතේ 83 (ඇ* 02 වගන්තිය කඩකිරීම, ලංකා දණ්ඩ නීති සංග්රහයේ 32 වගන්තිය සමග කියැවිය යුතු 1988 අංක 30 බැංකු පනත යටතේ චෝදනා ගොනුකරමින් චෝදනා දෙකක් යටතේ ඇතිමලේ පොලිසිය මගින් මෙම නඩුව පවරා තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් පසු චෝදනාවන් දෙකටම චූදිතයන් වැරදිකරුවන් බවට තීරණය කළ මහෙස්ත්රාත්වරිය මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවාය. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන ජගත් ජයවර්ධන, චානක විජේසිංහ යන මහත්වරුන් පෙනී සිටි අතර ඇතිමලේ පොලිස් ස්ථානාධිපති නිලන්ත බුලත්සිංහල මහතාගේ උපදෙස් පිට පොලිස් සැරයන් (66191* ආර්. ඇම්. ඞී. කේ. රත්නායක මහතා පැමිණිල්ල මෙහෙය වීය.