නොර්වුඞ් පොලිස් වසමට අයත් නොර්වුඞ් නිව්වැලි වත්තේ වතු නිවාස පේළියක 27 වැනිදා රාත්‍රියේ හටගත් ගින්නකින් වතු නිවාස 12ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව නොර්වුඞ් පොලිසිය පැවසීය.
27 වැනිදා රාත්‍රි 7.30ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලටත් ශීඝ්‍රයෙන් පැතිර ගිය බවත් ගින්නෙන් එම වතු නිවාස පේළියේ තිබූ වතු නිවාස 12 සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ බවත් නොර්වුඞ් පොලිසිය පැවසීය.
ගින්නෙන් පවුල් 12කට අයත් සමාජිකයන් 60 දෙනකු අවතැන් වී ඇති අතර, ඔවුන් ආරක්ෂිතව අයර්බි දමිළ මහා විද්‍යාලයේ නතර කර පසුව නිව්වැලි තේ කර්මාන්ත ශාලාවේ තාවකාලිකව නතර කිරීමට නොර්වුඞ් වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් තහවුරු කර ගෙන නැත.
ගින්නෙන් සිදුවූ අලාභය ද මෙතෙක් තක්සේරු කර නැත.
ගින්නෙන් විනාශ වූ වතු නිවාස සහ අවතැන්වූවන් පිළිබඳව සොයා බැලීමට පෙරේදා (28 දා) වතු යටිතල සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා ද නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සහ නුවරඑලිය ආපදා කළමනාකාර ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා ද පැමිණ සිටිහ.
ගින්නෙන් විනාශ වූ නිවාස අලූතින් ඉදිකිරීම සඳහා නොර්වුඞ් වතු පාලන අධිකාරිය මගින් එම වතු යායේම කාසල්රි ජලාශයට යාබදව ඉඩමක් හඳුනාගෙන ඇත. එම ඉඩමේ කඩිනමින් තනි තනි නිවාස වශයෙන් නිවාස 12ක් ඉදිකිරීමට පියවර ගන්නා බව රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
ගින්නෙන් අවතැන් වූවන් සදහා පිසූ ආහාර සහ යටිතල පහසුකම් ලබාදීමට නොර්වුඞ් ප්‍රාදේශීය සභාව සහ නුවරඑලිය ආපදා කළමණාකාර ඒකකය කටයුතු කරනු ලබයි. ගින්න සම්බන්ධයෙන් නොර්වුඞ් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි.
නුවරඑලිය - නාලක රත්නායක