Divaina - ආදායම් බදු නිලධාරී වෙස්‌ ගෙන ව්‍යාපාරිකයාගේ මුදල් හා රන් කොල්ලකෑ හොරු අල්ලා පොලිසියට භාරදෙති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

 ගලේවෙල - මොහොමඩ් බුහාර්ඩින්
 
 ආදායම් බදු දෙපාර්තමේන්තවේ නිලධාරීන් යෑයි හඟවමින් ගලේවෙල, මාදිපොල හතේ කණුව ප්‍රදේශයේ නිවසකින් මුදල් හා රන් භාණ්‌ඩ කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
 
 ගලේවෙල මාදිපොල හතේ කණුව ප්‍රදේහයේ කුකුළු ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යන අයකුගේ නිවසට පෙරේදා (12 දා) සවස මෝටර් රථයකින් පැමිණි සිවු දෙනකු ඔවුන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවත් මෙම ව්‍යාපාරිකයාගේ ආදායම් බදු හිඟ පවතින හෙයින් නිවස පරීක්‌ෂා කළ යුතු බවත් හඟවා නිවස පරීක්‌ෂාවට ලක්‌ කර තිබේ.
 
 එහිදී නිවසේ තිබූ රු. එක්‌ලක්‌ෂ හත්දහසක මුදලක්‌ නිවසේ සාලයේ සැටියට විසිකළ, පැමිණි පිරිසෙන් අයකු ව්‍යාපාරිකයාට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය නොවන බව කියා මෙම මුදල රැගෙන යන බව පවසා සැකකරුවන් නිවසින් පිටව ගොස්‌ ඇත.
 
 සැකකරුවන් නිවසින් පිටව ගිය පසු නිවසේ සිටි කාන්තාව අලමාරියේ රු. ලක්‌ෂ දෙකක්‌ වටිනා රන් භාණ්‌ඩ අතුරුදන් වී ඇති බව සිය ස්‌වාමියාට පැවසීමෙන් පසු නිවසට පැමිණියේ සොර කණ්‌ඩායමක්‌ බව ව්‍යාපාරිකයාට පෙනී ගොස්‌ තිබේ. ව්‍යාපාරිකයා හා ඔහුගේ පුතා සැකකරුවන් පිරිස ලුහුබැඳ ගොස්‌ සැකකරුවන් පල්ලේපොල නගරයේදී අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරුවන් ලුහුබැඳ ගිය ව්‍යාපාරිකයාගේ පුතා පැදවූ යතුරුපැදිය හප්පා පල්ලේපොල සිට මැල්සිරිපුරට යන මාර්ගයෙන් කාර් රථයෙන් පලා ගොස්‌ තිබේ. පසුව සිද්ධියට මුහුණ පෑ ව්‍යාපාරිකයා සිය නිවස කොල්ලකෑමට ලක්‌ වී ඇති බවත් සැකකරුවන් පලා යන මාර්ගයේ සිටින සිය මිතුරන් පිරිසකට පැවසීමෙන් පසු ඔවුන් මාර්ගය හරහා ටිපර් රථයක්‌ හරස්‌ කර සැකකරුවන් පිරිස අල්ලා ගොකරැල්ල පොලිසියට භාරදී තිබේ. අනතුරුව ගොකරැල්ල පොලිසිය විසින් ගලේවෙල පොලිසියට ඉදිරි පරීක්‌ෂණ සඳහා භාරදුන් බව ගලේවෙල පොලිසිය පවසයි.
 
 සැකකරුවන් පැමිණි කාර් රථයේ තිබූ කාපට්‌ එකක්‌ යට සඟවා තිබූ කොල්ලකන ලද රන් භාණ්‌ඩ හා සැකකරුවන් සතුව තිබූ කොල්ලකන ලද මුදල් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සැකකරුවන් පැමිණි මෝටර් රථය ද පොලිස්‌ භාරයට ගෙන ඇත.
 
 සැකකරුවන් කළුතර, බදුල්ල ප්‍රදේශයේ පදිංචි 25-40 වයස්‌වල පසුවන්නන් වන අතර සැකකරුවන් අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යය සහායකයකු සිටින බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත.
 
 සැකකරුවන් මෙවැනි ආකාරයේ මංකොල්ලකෑ සිදුකර ඇති ද යන්න පිළිබඳ පොලිසිය පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.
 
 සැකකරුවන් 13 දා දඹුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක රුක්‌ෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‌ෂක අබේරත්න, උප පොලිස්‌ පරීක්‌ෂක ජානක යන මහත්වරු වැඩිදුර විමර්ශන පවත්වති.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles