Divaina - වගකිවයුතු නිලධාරීන්ගේ මිනිසත්කම පහව යද්දී තාවකාලික බට ගේට්‌ටුකරුවන්ගේ රැකියාව එක රැයකින් අහිමි වෙයි....

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

බේරුවල - චමින්ද ප්‍රසාද්

 

signals
 
විදුලි ආලෝක සංඥ පද්ධතිවල ආගමනයත් සමගම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අනාරක්‌ෂිත හරස්‌ මාර්ගවල තාවකාලික බට ගේට්‌ටුකරුවන් ලෙස සේවය කළ විශාල පිරිසකගේ රැකියාව අහිමි වී ගොස්‌ තිබේ. වසර ගණනාවක්‌ පුරා දුම්රියෙන් ජීවිත බේරා දෙමින් සුවිශාල සමාජ මෙහෙවරක්‌ ඉටුකළ මෙම සේවකයන් හිටි හැටියේ ඉවත්කිරීමට අදාළ අංශ කටයුතු කිරීම නිසා ඔවුහු මහත් අපහසුතාවකට මුහුණ දී සිටිති.
 
 මසකට රුපියල් 7500 ක්‌ වැනි ඉතා සුළු දීමනාවක්‌ ලබමින් දිවා රාත්‍රී දෙකෙහිම එකලෙස සේවය කළ මෙම තාවකාලික ගේට්‌ටුකරුවන් ඉවත් කිරීමට කටයුතු කළ ද ඔවුන්ට සුළු වන්දි මුදලක්‌ හෝ වචනයකින්වත් අගය කිරීමක්‌ හෝ හිමිකර දීමට වගකිවයුතු නිලධාරීන් මානුෂික වී නොමැත. නියෑළෙමින් සිටි රැකියාව පෙර දැනුම්දීමකින් තොරව එක්‌ රැයකින් අහිමිව යද්දී ඔවුන් පමණක්‌ නොව ඔවුන්ගේ දරු පවුල් ද අන්ත අසරණ තත්ත්වයට පත්වී හමාරය.
 
 දැතට හුරු පුරුදු පෙර රැකියාවන් අතහැර දමා ගේට්‌ටුකරුවකු ලෙස සේවය කළ මෙම මිනිසුqන්ට අද වන තෙක්‌ හිමිවූ ප්‍රතිලාභයක්‌ නොමැත.
 
 අටුව කඩා පුටුව හදාගත් මේ මිනිසුන්ට අවසානයේ කබලෙන් ළිපට වැටීමට සිදුවී තිබේ.
 
 ප්‍රදේශයේ පොලිස්‌ ස්‌ථානවල අධීක්‍ෂණය යටතේ සේවය කළ මෙම තාවකාලික ගේට්‌ටුකරුවන් රැඳී සිටි කුඩා මුරකුටි බොහොමයක්‌ හැකි පමණින් ඔවුනොවුන් විසින්ම තනාගනු ලැබූ ඒවා විය. ඇතැම් මුqරකුටි තුළ රැඳී සිටි ගේට්‌ටුකරුවන් ඒ තුළ ආහාර පවා පිළියෙළ කර ගැනීමට කටයුතු කර තිබේ.
 
 ලද දීමනාවට වඩා සිය දහස්‌ ගුණයකින් වැඩි සේවයක්‌ ඉටුකළ ගේට්‌ටුකරුවන් එක්‌වරම ඉවත් කිරීම බලවත් අසාධාරණයක්‌ බව පවසන ප්‍රදේශවාසීහු අලුතින් සවිකළ ආලෝක සංඥ පද්ධති නිරතුරුවම අක්‍රීයවීම හෝ වැරදි සංඥා නිකුත් කිරීම සිදුකරන බැවින් ඒ පිළිබඳව කිසිදු විශ්වාසයක්‌ තැබිය නොහැකි බව ද පෙන්වා දෙති.
 
 වසර ගණනාවක්‌ පුරා දුම්රියෙන් ජීවිත බේරාගත් මෙම මිනිසුන් තාක්‌ෂණික මෙවලම්වල පැමිණීමත් සමගම අවලංගු කාසි බවට පත්වී තිබේ. සොච්චම් මුදලකට හැකි උපරිමයක්‌ ශ්‍රමය ලබා ගනිමින් අවසානයේ මෙම තාවකාලික බට ගේට්‌ටුකරුවන් සේවයෙන් ඉවත්කර ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්කළ අදාළ අංශවල නිලධාරීන්ගේ හා වගකිවයුතු බලධාරීන්ගේ මිනිසත්බව කොහේ කොතැනකදැයි ප්‍රශ්නයක්‌ පැනනගී.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles