Divaina - අක්කයි නංගියි ළිඳේ වැටී මියයති - ළිඳ ඉහින විට ඇතුළේ කිඹුළෙකුත් ඉඳලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

hot63- මරණ සැක නිසා පුළුල් පරීක්‍ෂණයක්

-  අනුරාධපුර මහවිලච්චිය ඇලපත්ගම කුඩා තම්මැන්නාව වැවේ ජලයෙන් යටවී තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී එකම පවුලේ විසි හය සහ විසි දෙහැවිරිදි සොහොයුරියෝ දෙදෙනෙක් දියේ ගිලී මරුමුවට පත්වූහ.

ඉකුත් 24 වැනිදා සවස ඔවුන් දෙදෙනා කුඩා තම්මැන්නාව වැවට දිය නෑමට ගිය අවස්ථාවේ අඩි 20ක් පමණ ගැඹුරින් යුත් ළිඳකට වැටී මෙසේ මරුමුවට පත්ව ඇති බව මහවිලච්චිය පොලිසිය පවසයි.

මහවිලච්චිය ඇලපත්ගම පදිංචිව සිටි විසි හය හැවිරිදි හිරුෂි සුලෝචනා ලියනගේ සහ විසි දෙහැවිරිදි අචලා රත්නායක යන දෙදෙනා මෙසේ මරුමුවට පත්ව ඇත. නමුත් ඔවුන් දෙදෙනා තමන් හැඳ සිටි ගවුම් සහිතව ළිඳට වැටී සිටීම නිසා ඒ සම්බන්ධයෙන් සැකයක් පවතින බැවින් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව මහවිලච්චිය පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

hot62මෙලෙස මරුමුවට පත් සහෝදරියන් දෙදෙනා කුඩා කල සිට නුගේගොඩ ගංගොඩවිල ප‍්‍රදේශයේ ළමා රැුඳවුම් මධ්‍යස්ථානයක ඇති දැඩිවී ඇත. ඉන් වැඩිමහල් සහෝදරිය මීට දෙවසරකට පෙර ඇලපත්ගම ප‍්‍රදේශයේ පදිංචි විසි නව හැවිරිදි පුද්ගලයකු සමග විවාහ වී එම ගමේම පදිංචි වී ඇති අතර ළමා රැුඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාල සහෝදරිය ද මීට වසරකට පමණ පෙර සිය වැඩිමහල් සහෝදරිය සමග ඇය පදිංචි ඇලපත්ගම ප‍්‍රදේශයට පදිංචියට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වැඩිමහල් සහෝදරියගේ සැමියා ඉකුත් 24 වැනිදා පෙරවරුවේ කුලී වැඩකට ගොස් නැවත නිවසට පැමිණ බැලූ විට සිය බිරිඳ සහ සහෝදරිය නිවසේ නොසිටි නිසා ඔවුන් දිය නෑමට වැවට යන්නට ඇතැයි සිතා ඒ පිළිබඳව සොයා බැලීමට ඔහු ද වැවට ගොස් ඇත.

එම අවස්ථාවේ වැවේ නාන තොටුපොළේ තිබී ඔවුන් දෙදෙනාගේ ඇඳුම් ඇඳුම් හමුවී ඇත. නමුත් සිය බිරිඳ සහ ඇගේ සහෝදරිය නාන තොටුපොළේ පෙනෙන්නට නොසිටි නිසා කලබල වූ ඔහු ඔවුන් සොයා ඇත. ඔවුන් දෙදෙනා නාන තොටුපොළ අසල වැව තුළ කපා තිබෙන ගැඹුරු ළිඳට වැටෙන්නට ඇතැයි සැක කළ ඔහු ඒ බව ගම්වාසින්ට ද පවසා අනතුරුව මහවිලච්චිය පොලිසියට දැනුම් දී තිබිණි.

ඒ අනුව එදින රාත‍්‍රියේම මහවිලච්චිය පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් එහි පැමිණ ගම්වාසින්ගේ ද සහය ඇතිව ජල මෝටරයක් ආධාරයෙන් ළිඳේ ජලය හිස් කරමින් සිටියහ. ඒ අවස්ථාවේ ළිඳ තුළ විශාල කිඹුළාකු සිටිනු දක්නට ලැබීම නිසා පොලිසිය ඒ බව මහවිලච්චිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් දන්වා ඇත. එම දැනුම්දීමට අනුව එම නිලධාරීහු පැමිණ කිඹුලා අල්ලා ගොඩට ගෙන පසුව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට රැුගෙන ගොස් මුදා හැරීමට පියවර ගත්හ.

ඉන් අනතුරුව ළිඳේ ජලය තවදුරටත් හිස් කළ අවස්ථාවේ හමුවූ සහෝදරියන් දෙදෙනාගේ සිරුරු පෙරේදා (25 දා) සවස අනුරාධපුර අතිරේක මහෙස්ත‍්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා ඉදිරියේ ගොඩ ගනු ලැබිණි. කෙසේ වුවද එම මළ සිරුරු ගොඩ ගෙන පරීීක්ෂා කිරීමේදී සිරුරුවලට කිඹුලාගෙන් හානි සිදුවී නොමැති බව පෙනී ගොස් තිබිණි.

අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා විසින් ස්ථානීය මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුරු අනුරාධපුර ශික්ෂණ රෝහලට භාර දෙන ලෙසත් ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් මහ විලච්චිය පොලිසියට නියෝග කෙරිණි.

ඒ අනුව එම සිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (26 දා) අනුරාධපුර ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර මහ විලච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සහ මහවිලච්චිය සමන් විජිත කුමාර

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles