Divaina - වකුගඩු ලෙඩුන් සහ මරණවලින් රජරට ඉදිරියෙන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

p183ජන ජීවිත අවුල් කරන සමාජ ව්‍යසනයක්‌ බවට වකුගඩු රෝගය පත්වෙමින් තිබෙන බව නොරහසකි. මෙයට දශක දෙකකට පමණ පෙර මුලින්ම රජරටින් මතුව ආ වකුගඩු රෝගය මේ වනවිට උතුරු නැගෙනහිර ඇතුළුව රටේ දිස්‌ත්‍රික්‌ක ගණනාවක බහුලව පවතී.
 
 වෘක්‌කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්‌ථානයේ නවතම දත්ත වාර්තාවලට අනුව දැනට දිවයිනේ ප්‍රතිකාර ලබමින් සිටින වකුගඩු රෝගීන්ගේ ගණන 27530 කි. ඒ සංඛ්‍යාවෙන් හරි අඩකටත් වඩා එනම් රෝගීන් 16682 ක්‌ සිටින්නේ උතුරු මැද පළාතේය. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ වකුගඩු රෝගීන් 10019 ක්‌ සහ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වකුගඩු රෝගීහු 6663 ක්‌ ලෙසටය.
 
 මේ අතර පසුගිය වසරේ (2017) වකුගඩු රෝගීන් වැඩිම ප්‍රමාණයක්‌ මියගොස්‌ ඇත්තේ ද උතුරු මැද පළාතේය.
 
 අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ 781 ක්‌ සහ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පුද්ගලයන් 337 ක්‌ ලෙස මුළු මරණ ගණන 1118 කි. මේ ගණන් හිලව් හදන වෘක්‌කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්‌ථානයේ දත්ත පිරික්‌සීමේදී දැනට දිවයිනේ වකුගඩු රෝගීන් බහුලව සිටින දිස්‌ත්‍රික්‌ක 11 ක්‌ අතුරින් අනුරාධපුර සහ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ක දෙකෙහි පමණක්‌ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකින්ම හමුවේ. මෙය කිසිසේත්ම සතුටුවිය හැකි කාරණයක්‌ නොවන බව ද අමුතුවෙන් කිව යුතු නැත.
 
 වකුගඩු රෝගීන්ගේ ප්‍රශ්නය ඒ පවුල්වලට පමණක්‌ නොව රටට ද විශාල බරක්‌ බව පැහැදිලිය. රජය සෑම වසරකම වකුගඩු රෝගී ප්‍රතිකාර ඔවුන්ගේ සුබ සාධනය සඳහා විශාල මුදල් ප්‍රමාණයක්‌ වැය කරනු ලබයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායක්‌ ද පිහිටුවා තිබේ. චීන රජයේ පූර්ණ පරිත්‍යාගයක්‌ ලෙස වකුගඩු රෝගීන් සඳහා ඇඳන් 500 කින් යුත් අති නවීන පහසුකම්වලින් සමන්විත ජාතික රෝහලක්‌ උතුරු මැද පළාතේ පොලොන්නරුවේ ඉදිකිරීම ආරම්භ කර තිබේ. රජයේ මේ සියලු වෑයම්වල අරමුණ වකුගඩු රෝගය ජන සමාජය තුළින් පිටු දැක නිරෝගී සම්පන්න ජනතාවක්‌ ඇති කිරීම බව ද කිව යුතු නොවේ. එහෙත් මේ අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට රාජ්‍ය නිලධාරීන් වෙතින් කොපමණ සහායක්‌ ලැබේ ද යන්න ප්‍රශ්නයක්‌ මතුවන ආසන්නතම කාරණයක්‌ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් ඇසේ. එනම් උතුරු මැද පළාතේ වෙසෙන සියලු පුද්ගලයන් සඳහා වකුගඩු රෝගය ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා ජීව රසායන විශ්ලේෂක යන්ත්‍රයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ 300 ක මුදලක්‌ රජය මඟින් උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට 2016 වසරේදී ලබාදී තිබියදී ඒ යන්ත්‍රය මිලදී ගැනීමට අදාළ බලධාරීන් කටයුතු නොකිරීම නිසා ඒ මුදල් නැවත රාජ්‍ය භාණ්‌ඩාගාරයට ගොස්‌ තිබීමයි. එසේ නම් මෙවන් වටපිටාවක්‌ පරිසරයක්‌ තුළ උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් ගණන ඉහළ යැම සහ වකුගඩු රෝගය වැළඳීම නිසා සිදුවන මරණ ගණන වාර්තා ගත ලෙස වැඩිවීම එතරම් පුදුම සහගත කරුණක්‌ නොවන බව රජරට ජනතාව කියති.
 
 අලි මදිවට හරක්‌
 
 අලි මදිවට හරක්‌ යෑයි අපේ ජන සමාජයේ කියමනක්‌ පවතී. කරදර එකක්‌ නොව දෙක තුනක්‌ පිට පිට පැමිණෙන විට ගැමි ජනයා අලි මදිවට හරක්‌ කියනු බොහෝ විට අසන්නට ලැබේ. ඒ කියමන මේ මොහොතේ සිහියට නැඟෙන්නේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ දැනට පීදෙමින් සහ කිරිවදිමින් තිබෙන ගොයමට සිදු වී තිබෙන තවත් වින්නැහියක්‌ නිසාවෙනි.
 
 පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ මහ ගොවි ජනපද සහ මහවැලි කලාපවල මෙවර යල කන්නයේ වගාකර ඇති කුඹුරු බිම් ප්‍රමාණය අක්‌කර එක්‌ ලක්‍ෂ හැට දහසක්‌ පමණය. පසුගිය දිනවල ඒ බොහෝ යායවලින් වාර්තා වූයේ ගොයම් ගස කහ පැහැ ගැන්වී ගොබය කුණු වී යැමේ රෝගී තත්ත්වයක්‌ පවතින බවයි. කෘෂිකර්ම නිලධාරීන් විසින් මේ පිළිබඳව කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ ගොයම් ගසේ කඳට හානි කරන පුරුක්‌ පණුවා විසින් මේ ව්‍යසනය සිදු කරන බවටයි. ඒ රෝගයට අවැසි ප්‍රතිකාර ලබාදී රෝග තත්ත්වය මර්දනය වීමෙන් ගොවි ජනතාවට මඳ අස්‌වැසිල්ලක්‌ ලබමින් සිටියදී වී වගාවට දැන් තවත් අරෝවකි. එනම් දුඹුරු පැළ කීඩෑවාගේ හානිය බහුල වශයෙන් තිබීමයි.
 
 වැසි සහිත අඳුරු කාලගුණික තත්ත්වයක්‌ පවතින මාස්‌ කන්නවලදී වැඩි වශයෙන් වී වගාවට කෙරෙන දුඹුරු පැළ කීඩෑවාගේ හානිය රජරට පළාතේ කුඹුරුවල දකින්නට තිබෙන නමුත් යල කන්නයක මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීම ඉතාමත් දුලබ සිදුවීමකැයි කෘෂිකර්ම නිලධාරීහු පවසති. එහෙත් මෙවර යල කන්නයේදී පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ කුඹුරුවල දුඹුරු පැළ කීඩෑ හානිය වසංගත තත්ත්වයක්‌ ලෙස පැතිරී යන නිසා තම වී වගාවේ කෘමි හානි සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත් දුඹුරු පැළ කීඩෑවාගේ හානි සුළු වශයෙන් තිබෙන අවස්‌ථාවේම සුදුසු කෘෂි රසායන ප්‍රතිකාර ලබාදීමට ප්‍රදේශයේ කෘෂි නිලධාරීන්ගෙන් උපදෙස්‌ ලබාගන්නා ලෙස ද පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ආර්. පී. උපාලි මහතා දිස්‌ත්‍රික්‌කයේ ගොවි ජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි.
 
 කෙසේ නමුත් වී ගොවිතැනට දිගින් දිගටම එල්ලවන කෘමි හානි වසංගත පිළිබඳව අදහස්‌ දක්‌වන මෙහි ගොවි ජනයා පවසන්නේ හැම හෙණ ගෙඩියක්‌ම පාත් වෙන්නේ අපේ හිස මතටමය කියායි. එය බොරුවක්‌ නොව හැබෑවක්‌මය යන්න දුඹුරු පැළ කීඩෑවා විසින් ගිලගෙන තිබෙන යායවල් දෙස බලන විට කා හට වුව ද පසක්‌ වෙයි.
 
 සීගිරි ගල කළුගල් මෝලකට බදු දෙමුද?
 
 සීගිරිය වූ කලී අප සතු විශිෂ්ට පුරා උරුමයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත. සීගිරියේ අගේ දන්නෝ අපේ රටේ උදවියට වඩා පිටරැටියන් බව දිනපතා එය නැරඹීමට පැමිණෙන දහස්‌ සංඛ්‍යාත විදේශිකයන්ගෙන් පැහැදිලි වෙයි. පසු කලෙක ලෝක උරුමයක්‌ ලෙස ද නම් වී ඇති සීගිරිය අපෙන් පසුව පැවත එන පරපුර සඳහා කොතෙක්‌ දුරට ආරක්‍ෂාවේ ද යන සැකය දැන් මතුවෙමින් තිබේ. මක්‌නිසාද යත් සීගිරිය පමණක්‌ නොව අපේ රටේ බොහෝ පුරාවිද්‍යා ස්‌මාරක, බෞද්ධ ස්‌මාරක අද යොදාගෙන ඇත්තේ මුදල් ඉපැයීමේ මාධ්‍ය සඳහා පමණක්‌ බව පෙනී යයි. පුරාවිද්‍යා වටිනාකම් හෝ බෞද්ධාගමික වටිනාකම් පිළිබඳව කිසිදු සැලකිල්ලක්‌ නොදක්‌වා ඒ ස්‌මාරක මත ඒවා අබියස නොයෙකුත් අවර ගණයේ ක්‍රියාවන් බහුලව සිදුකෙරේ. ඒවා පුංචි මිනිසුන්ගේ වැඩ නොව ලොකු ලොක්‌කන් බල පුළුවන්කාරයන් විසින් කරනු ලබන ඒවාය. හානිය විනාශය කොතෙකුත් සිදු වුව ද ඊට එරෙහිව නැඟෙන හඬක්‌ හෝ විරෝධයක්‌ නොමැතිවීම මහත් වූ දොම්නසකට කාරණයකි.
 
 නවමු අමිහිරි ආරංචිය සීගිරියේ ආරම්භ කරන්නට යන කේබල් කාර් ව්‍යාපෘතියයි. පා ගමනින් ගොස්‌ සීගිරිය නැරඹීම වෙනුවට කේබල් කාර් එකක නැඟී සීගිරිය බැලීම පහසු කරවීම මොකද නරක දැයි කෙනකු අසන්නට ද බැරි නැත. දැනගන්න තිබෙන පරිදි සීගිරියේ කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කරන්නට යන්නේ ප්‍රකට චීන සමාගමකි. දැන් ඒ සම්බන්ධයෙන් මූලික සක්‍යතා අධ්‍යයන කරමින් සිටින බව ද සැලවේ. චීනාගේ කේබල් කාර් එකේ නැඟී සුද්දොa සීගිරිය බලන විට ලැබෙන ඩොලර් ප්‍රමාණය ද බොහෝ වැඩිවන්නට පිළිවන. එහෙත් ඒවා අපට නොව චීන සමාගමටය. ඩොලර් හෝ රුපියල් ශත වැඩිවන ප්‍රමාණය දිහා බලා සීගිරියේ කේබල් කාර් දුවන්නට ඉඩදීම රටේ අරාජිකත්වයේ නැතහොත් පරගැති බවේ හොඳම පිළිබිඹුවකි. පසුගිය රජය සමයේ ද සීගිරියේ කේබල් කාර් ව්‍යාපෘතියක්‌ සඳහා පිඹුරුපත් හැදුවේය. නමුත් පරිසර සංවිධාන, මාධ්‍යවේදීන් පුරා උරුමයන්ට සැබෑ ලෙස ආදරය කරන පිරිස්‌ ආදී විවිධ අංශවලින් එල්ලවූ දැඩි විරෝධයන් හමුවේ එය හකුලා ගන්නට ආණ්‌ඩුවට සිදු වූ බව මේ මොහොතේ සිහිපත් කරන්නට කැමතිය. ඉහතින් සඳහන් කළ පරිදි රුපියල් ශත ඩොලර් අරබයා සීගිරියේ කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කරන්නට අදහස්‌ කරන්නේ නම් ඊට වඩා පහසුවෙන් සල්ලි හම්බ කළ හැකි මඟක්‌ තිබේ. එනම් සීගිරි ගල කළුගල් මෝලකට බදු දීමය.
 
 p184කරුණාරත්න ගමගේ This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles