
විල්පත්තුව උතුරු වනාන්තර කලාපයේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර් 2500 ක් විනාශයට ලක් කිරීමෙන් සිදුකර ඇති හානියට වන්දිය ලෙස හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා විසින් ගෙවිය යුතු මුදල තක්සේරු කර නීතිපති දෙපාර්තුමේන්තුව වෙත යවා ඇති අතර එම තක්සේරු මුදල ප්‍රසිද්ධියට පත්කිරීම සුදුසුද නැද්ද පිළිබඳව නීතිපති උපදෙස් පතා ඇතැයි වනජීවී රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතා ‘දිවයිනට’ ඊයේ (24 දා) පැවසීය.
අධිකරණ නියෝගයක් මත මෙසේ සිදුව ඇති හානිය තක්සේරු කිරීම සඳහා වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් සත් පුද්ගල කමිටුවක් පත්කර තිබූ අතර, එම කමිටුව මගින් මෙසේ සිදුකරන ලද හානි තක්සේරුව ඉකුත් සෙනසුරාදා (23 දා) නීතිපති දෙපාර්තමේන්තුවට හා බදියුදීන් මහතා වෙත යවා තිබුණි.
නමුත්, මේ පිළිබඳව හානි තක්සේරු කමිටුවේ සභාපති නියෝජ්‍ය වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ එවන් තක්සේරුවක් තවමත් සිදුකර නොමැති බවයි.
මරිච්චිකට්ටි ප්‍රදේශයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ඉඩම් අනවසරයෙන් හෙළි පෙහෙළි කර, ඒ තුළ නිවාස ව්‍යාපෘති රැුසක් ක්‍රියාවට නංවා ඇති අතර, මේ නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය මගින් පවරන ලද නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය විසින් විත්තිකාර බදියුදීන් මහතාට මෙසේ එම වනාන්තර පද්ධතියට සිදුකරන ලද විනාශය තම වියදමෙන් ප්‍රකෘතිමත් කිරීම සඳහා රජයට ගෙවිය යුතු බවට නියෝගයක් ලබා දෙන ලදී.
මේ වන විට බදියුදීන් මහතා විසින් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇත.