නව සාමාන්‍යකරණය යටතේ ශ්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා පූර්ණ සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා එසේ පැවසූවේ මීගමුවේ පිහිටි, 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනයේ ඉකුත් 15වැනිදා පස්වරුවේ පැවති උපාධි පාඨමාලා ලියාපදිංචියේ සමාරම්භක නිල උත්සවයට සහභාගී වෙමිනි.
21 වැනි සියවසේ ශ්‍රේෂ්ඨ විද්වතෙකු වූ 16 වැනි බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමන්ට උපහාර පිණිස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ සංකල්පයක් අනුව බීසීඅයි උසස් අධ්‍යාපන ආයතනය 2015 වසරේදී ආරම්භ කෙරිණ. මෙම ආයතනය මිනුවන්ගොඩ පාරේ බෝලවලානේ පිහිටි ශ්‍රී ලංකා ගුරු අභ්‍යාස විදුහල් භූමියේ ස්ථාපනය කර තිබේ. පසුගිය වසර 06 තුළ සිසුන් 17,200කට අධික සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණ සහ වෘත්තීය පාඨමාලා හදාරා ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පිළිගනු ලබන උපාධි ප්රදානය කරන ආයතනයක් බවට පත්වීමත් සමග ඉංග්‍රීසි මාධ්‍ය ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධිය සහ තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමි වේ.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය විශිෂ්ට ප්‍රමිතියකට නැංවීමට ඉහළ ප්රමුඛත්වයක් දීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ඒ සඳහා සියලූම විශ්වවිද්‍යාල ”සුහුරු විශ්ව විද්‍යාල” බවට පරිවර්තනය කරමින් තාක්ෂණික දැනුමෙන් පිරි අනාගත පරපුරක් බිහිකිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ තාක්ෂණික දැනුමෙන් සහ සාරධර්මවලින් පිරිපුන් හා නිවැරදි චින්තනයකින් සන්නද්ධ පරපුරක් අනාගතයට දායාද කරමින් බීසීඅයි කැම්පස් අත්කරගෙන ඇති ප්‍රගතිය ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් විය.
”ව්‍යාපාරික සහ තොරතුරු තාක්ෂණයෙන් අනාගතය” මාතෘකා කොටගත් දේශනය මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා විසින් කරනු ලැබිණ. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් බීසීඅයි කැම්පස් ඉදිරි ගමන් මග පිළිබඳව සිය දේශනයේ දී පැහැදිළි කළහ.
උපාධි අපේක්ෂක පළමු ශිෂ්‍ය කණ්ඩායම නියෝජනය කරන සිසුන් පිරිසකට ලියාපදිංචි ලිපි ප්රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.
බීසීඅයි කැම්පස් වෙනුවෙන් දැක්වූ අනුග්‍රහය අගයමින් මැල්කම් කාදිනල් රංජිත් අගරගුරුතුමන් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූහ.
උත්සව සභාවෙන් අනතුරුව ජනාධිපතිවරයා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ආයතන පරිශ්‍රයේ සඳුන් පැළ 03 ක් රෝපණය කළහ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිමල් ලන්සා, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්ම මහත්මීහු, ඊක්ෂ කැම්පස් අධ්යක්ෂ මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
- Hits: 452