හේමන්ත රන්දුණු සහ මඩකලපුව ටී. එල්. ජව්ෆර්කාන්
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් පස් දෙනා සියලූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන ලෙස මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසයිදාසන් මහතා ඊයේ (13 වැනිදා) නියෝග කළේය.
ඒ අනුව තමිල් මක්කල් විඩුතලෙයි කොටි පක්ෂයේ (දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂයේ) නායක සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවෝ පස්දෙනා ජෝශප් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වූ සියලූ චෝදනාවලින් නිදහස් කරනු ලැබූහ.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා ඝාතනයට ලක් වූයේ ඉකුත් 2005 වර්ෂයේ දෙසැම්බර් 25 වැනිදා මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවැති නත්තල් දේව මෙහෙයට සහභාගි වෙමින් සිටියදීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 2015 වර්ෂයේ යහපාලන රජය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
ඒ අනුව 2015 වර්ෂයේ ඔක්තෝම්බර් මස 14 වැනිදා ප්‍රකාශයක් ලබා ගැනීමට පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවන ලදි. එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් මඩකලපුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
එහිදී සැකකරුවන් පස් දෙනා බන්ධනාගාර ගත කළ අතර වසර 4 ක් තිස්සේ මොවුහු බන්ධනාගාරයේ රඳවා සිටියහ.
වත්මත් රජය බලයට පැමිණීමෙන් පසුව ඉකුත් වසරේ නොවැම්බර් මස 24 වැනිදා පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් පස්දෙනා ඇප මත මුදා හැරීමට මඩකලපුව අධිකරණය කටයුතු කර තිබිණි.
මෙම නඩුව ඉදිරියට ගෙන යෑමට තරම් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා විසින් මඩකලපුව අධිකරණයට දැනුම් දී තිබුණි.
මෙහිදී පිල්ලෙයාන් සම`ග නිදොස් කොට නිදහස් කළ සැකකරුවන් අතර නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එඞ්වින් කිරුෂානන්දන් සහ ප්‍රදීප් මාස්ටර් ඇතුළු පස් දෙනෙක් සිටිති.
උතුරේ යුද්ධය පැවැති සමයේදී ඝාතනයට ලක් වූ ජෝශප් පරරාජසිංහම් මහතා කොටි හිතවාදියකු ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබුණු අතර කොටි සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්රභාකරන් විසින් එක් අවස්ථාවකදී ජෝශප් පරරාජසිංහම් මහතා වීරයකු ලෙස නම් කළ බවද වාර්තා විය.
කොටි සංවිධානයේ නියෝජ්‍ය නායකයාව සිටි කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ නැගෙනහිර නායකයන් ඇතුළු විශාල පිරිසක් එම සංවිධානයෙන් වෙන් වීමෙන් අනතුරුව ජෝශප් පරරාජසිංහම් මහතා මෙසේ ඝාතනයට ලක් විය.
- Hits: 259