හේමන්ත රන්දුණු
දකුණු පළාතේ ප්‍රධානම පෙළේ පාතාල නායකයකුට අයත් බවට සැකකරන රුපියල් විසිතුන්කෝටියකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් කොස්ගොඩ ටකරන්වාඩිය ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (12 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය කිලෝග්‍රෑම් 23 යි ග්‍රෑම් 155 ක බරින් යුක්ත බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම හෙරොයින් තොගය දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින කොස්ගොඩ තාරකට අයත් බවට සැක පහළ කරයි.
මෙම හෙරොයින් තොගය තවත් ජාවාරම්කරුවන් පිරිසකට ලබාදීම සඳහා සූදානම් කර කොස්ගොඩ ටකරන්වාඩිය හන්දිය ආසන්නයේ පිහිටි කැලෑවක සඟවා තබන්නට ඇති බවට විශේෂ කාර්ය බළකාය සැක කරයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් කළ විමර්ශනයකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.
මෙහිදී සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර හෙරොයින් තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී ඇත.
මෙම හෙරොයින් තොගය පොහොර මලූවල අසුරා ඉතාම ආරක්ෂාකාරී අන්දමට සඟවා තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසන අතර පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර විමර්ශන පවත්වයි.
- Hits: 341