නුවරඑළිය - නාලක රත්නායක
නොර්වුඞ් පොලිස් වසමට අයත් නොර්වුඞ් වතුයාය යටතේ පාලනය වන නිව්වැලි වත්තේ විශාල ඉඩමක් අත්පත් කර ගැනීමට දඹුල්ල ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් පළවා හැරීමට වතු පාලන අධිකාරිය සහ වතු කම්කරුවන් ඊයේ (12 දා* කටයුතු කළහ.
නොර්වුඞ් නිව්වැලි වත්තේ පිහිටි තේ කර්මාන්ත ශාලාවට යාබදව කාසල්රි ජලාශ ඉස්මත්තේ යුකැලිප්ටස් වන වගාව සහිත අක්කර 03 ක පමණ ඉඩම් කොටසක් තමන්ට නීත්‍යානුකූල ලියවිල්ලක් ඇති බව පවසමින් දඹුල්ල ප්‍රදේශයෙන් පිරිසක් තම වතුයායට පැමිණි බවත්, එම පිරිස කාසල්රි ජලාශයට යාබදව පිහිටි ඉඩම මින් ඉදිරියට තමන්ට අයිති බව පැවසීමෙන් අනතුරුව තමන් ඒ පිළිබඳව වතු පාලන අධිකාරිය සහ නොර්වුඞ් පොලිසිය දැනුවත් කළ අවස්ථාවේ එසේ පැමිණි පිරිස පලාගිය බව එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටියි.
එම වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන්ද තේ දළු නෙලීමේ කටයුතු නතර කර තම තේ වත්තේ ඉඩම් බේරා ගැනීම සඳහා එම ස්ථානයට පැමිණ සිටියහ.
ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයකුගේ පූර්ණ සහයෝගය ඇතිව කාසල්රි ජලාශයට යාබදව පිහිටි තම වතුයායට අයත් ඉඩම් පිටතින් පැමිණි පුද්ගලයන් අත්පත් කර ගැනීමට විවිධ අයුරින් කටයුතු කරන බවත්, වසර ගණනාවක් ඉඩම් කැබැල්ලක් හෝ නොමැතිව වතු නිවාසවල තවදුරටත් ජීවත් වන තමන් පිටතින් පැමිණෙන පුද්ගලයන්ට තම වතුයායේ තේ ඉඩම් අත්පත් කර
ගැනීමට ඉඩ ලබා නොදෙන බව විරෝධතාවයේ නියැලී සිටි වතු කම්කරුවන් පැවසීය.
තම වතුයායේ ඉඩම් අත්පත් කර ගැනීමට පිටතින් පැමිණෙන අයට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව නොර්වුඞ් වතුයායේ ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකරු සුපුන් සෙනවිරත්න මහතා කියා සිටියේය.