චමින්ද සිල්වා
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60ක් දක්වා ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා වුවද, සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්.* සාමාජිකත්වය දරන එම සේවකයින්ට වයස අවුරුදු 55 පිරීමෙන් පසු අරමුදලට දායක වූ මුදල ලබා ගැනීමට හැකිවන පරිදි කම්කරු පනත් සංශෝධනය කළ හැකිදැයි සලකා බලන බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ‘දිවයින’ට ඊයේ (24දා* පැවසීය.
මෙම පනත් සංශෝධනය කරන තෙක් දැනට සිටින සේවකයින්ට වසර 55 සම්පූර්ණ වූ විට සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල ලබාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.
පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑම වසර 60 දක්වා දීර්ඝ කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වුවත් අය වැය සම්මත වීමෙන් පසුව ඊට අදාළ වන සේවක අර්ථසාධක අරමුදල් පනත ඇතුළු පනත් සංශෝධනය කරන බවද ඒ මහතා කීවේය.
මෙම පනත් සංශෝධනය කිරීමට පෙර සේවා යෝජකයන්, සේවකයින් සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡුා කර තීරණයක් ගත යුතු බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
එහිදී පෞද්ගලික අංශයේ සේවකයන්ට හිමි සේවක අර්ථසාධක අරමුදල වයස අවුරුදු 55ක් හෝ 60ක් සම්පූර්ණ වීමෙන් පසු ගෙවනවාද යන්න සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණිය හැකි බවද ඔහු අවධාරණය කළේය.
මේ වන විට පිරිමි පුද්ගලයකුට වයස 55 සම්පූර්ණ වීමෙන් පසුවද, කාන්තාවකට වයස 50ක් සම්පූර්ණ වීමෙන් පසුවද, පිරිමි හෝ කාන්තා සේවක සේවිකාවන් පෞද්ගලික අංශයේ සිට රාජ්‍ය අංශයට එක්වූ පසුත් කාන්තාවක විවාහ වීමෙන් පසු සේවයෙන් ඉවත් වුවහොත් සහ වෛද්‍ය මණ්ඩල නිර්දේශ මත තවදුරටත් සක්‍රීය සේවයේ නිරත විය නොහැකි බව තහවුරුවී සේවයෙන් ඉවත් වුවහොත් සේවක අර්ථසාධක අරමුදලේ සිය දායක මුදල ලබා ගත හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.