Divaina - ඉදිරියේදී ඇතිවන කර්මාන්ත පුනරුද යුගයේ කොටස්කරුවන් වන්නේ මේ රටේ තරුණ පරපුරයි...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

වසන්ත ලියනගේ

wim555
 
 ඉදිරියේදී කර්මාන්ත පුනරුද යුගයක් ඇති කොට ”මේඞ් ඉන් ශී‍්‍ර ලංකා” යුගයක් අරඹන බවත් එම කර්මාන්ත පුනරුද යුගයේ නිෂ්පාදන කි‍්‍රයාවලියේ කොටස්කාරයන් බවට මේ රටේ තරුණ පරම්පරාව පත්කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.
 
 ඇමැති විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා මහරගම ”අරියානා රිච්” හෝටලයේ පැවති ”අනාගතය අපි” තරුණ ව්‍යාපාරයේ කොළඹ දිස්ති‍්‍රක් නියෝජිත සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
 
 එහිදී විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.
 
 ඔබ කවුරුත් අමතක නොකළ යුතුයි, මේ පය ගහලා ඉන්න භූමිය බොහෝ ආක‍්‍රමණිකයන්ගේ ප‍්‍රහාරවලට ලක්වෙලා මියගිය මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් ඔපමට්ටම් වුණු භූමියක් බව. යුරෝපා ආක‍්‍රමණිකයන් අවුරුදු පන්සීයක් මේ රටේ හිටියා. එහෙත් ඒක සිංහල භාෂාවත්, බුදුදහමත් මකන්න බැරි වුණු යුගයක්. ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන් ලතින් ඇමරිකාවේ හිටියා අවුරුදු විස්සක්. ලතින් ඇමරිකාවේ තිබුණු සෑම ප‍්‍රාදේශීය භාෂාවක්ම ආගමක්ම ඒ අවුරුදු 20 ඇතුලේ අතුගා දාන්න ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන්ට පුළුවන් වුණා, මුළු ලතින් ඇමරිකාවේම ඔවුන්ගේ භාෂාව, ඔවුන්ගේ ආගම පතුරවන්න. අපිට අපේම භාෂාවක් නොතිබුණා නම්, ඉංග‍්‍රීසි ජාතීන්ට එය වෙනස් කරන්න පහසු වෙන්න තිබුණා. අවුරුදු පන්සියයක් යුරෝපා ආක‍්‍රමණිකයන් මේ රට තුළ ඉඳලා, ඇයි අපේ රටේ දේවල් නැති කරන්න ඔවුන්ට බැරි වුණේ ඇයි?
 
 සුදු අධිරාජ්‍යවාදීන් ගෙනා රාජ්‍ය සේවය ලැබුණේ ආගම වෙනස් කරපු අයට. වරප‍්‍රසාද ලැබුණේ ප‍්‍රභූ පැළැන්තියේ ආගම වෙනස් කරපු අයට. සුදු අධිරාජ්‍යවාදීන් ඉංග‍්‍රීසි භාෂාව උගන්වන පාසල් පටන් ගත්තා. එයාලාගේ භාෂාව මේ රටේ ප‍්‍රධාන භාෂාව බවට පත් කළා. වසර 500 ක් එහෙම උත්සාහ කළත් ඔවුන්ගේ දේවල් මේ රටේ ගොඩනගන්න බැරි වුණා. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත්විජිත ලේකම්ට මෙරට හිටපු ආණ්ඩුකාරවරයකු ලියුමක් යවනවා, මේ රටේ ඉන්නවා කහකඩ හමුදාවක්. මේ හමුදාව ගමේ ගොඬේ හැම දේටම සම්බන්ධයි. ගහට පොත්ත වගේ, ඉන්න මේ කහකඩ හමුදාව වට්ටන්නේ නැතුව මේ රට අල්ලගන්න බැහැ’ කියලා.
 
 මේ සුද්දො ලංකාව අල්ලා ගත්තාම, අපේ මහ කැලෑ වනසලා එයාලා කන්ද උඩරට මහා තේ වතු නිර්මාණය කළා. ඇයි ඒ තේ වතුවල වැඩ කරන්න ලංකාවේ කම්කරුවෝ හිටියේ නැත්තේ? ඇයි ලංකාවේ මිනිස්සු ඒ තේ වතුවල වැඩ කරන්න ගියේ නැත්තේ? සුද්දෝ එනකොට මේ රටේ තිබුණේ කාගෙවත් ගාව කුලියට, මලියකට වැඩ කරන ජීවනෝපායක් නොවෙයි. එක්තරා ආකාරයකට ස්වයංපෝෂණය වූ අර්ථ ක‍්‍රමයක් අපිට තිබුණා. ඉඩම, කමත තිබුණා. ඒ නිසා ගොවිතැන තිබුණා. කම්හල් තිබුණා. ඒ මගින් අවි ආයුධ නිපදවනු ලැබුවා. ඒවා රජුගේ හමුදාව පරිහරණයට ගත්තා. සාමාන්‍ය මිනිහා වගා බිම්වල උවමනාවන්වලට වැඩ කරන්න ගත්තා. හැම මිනිසෙකුටම ආදායම උපයන්න මාර්ගයක් තිබුණා. ලෝකයේ පළමුවැනි රේගු බදු අය කරපු සාක්ෂිය තියෙන්නෙ ලංකාවේ. ඒ රේගු බදු අය කරපු බවට තිබුණු ඉපැරණිම සීල් එක මට මතක විදියට හම්බන්තොට පැත්තෙන් හමුවුණා. අපි මේතරම් දුරක් කරදර හා බාධක පහුකරගෙන ඇවිත් තියෙන්නෙ වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි. අර ගහට පොත්ත වගේ තිබුණ ඒකාග‍්‍රතාව  රැුකුණු හින්දා.
 
 පුස්කොළ පොත් කියන ඒවා සුද්දාට හමු වුණේ ලංකාවෙන්. පුස්කොළ පොත ඉන්දියාවටත් ගියේ ලංකාවෙන්. මොකද කියනවා නම් පුස්කොළ පොත්වල ලියලා තියන්න තරම් දැනුමක් අපේ රටේ තිබුණා. වාරි විද්‍යාව, වාරි තාක්ෂණය පිළිබඳ දැනුම එසේ ලියැවී තිබුණා. ධාතුසේන රජ්ජුරුවෝ යෝධ ඇළ හැදුවේ එප්පාවල පොස්පේට් නිධිය වටේට. ධාතුසේන රජ්ජුරුවෝ දැන සිටියා ඒ පොළොවේ විශේෂත්වයක් තියෙනවා කියලා. එතකොට යෝධ ඇළ යන්නේ පොස්පේට් අවශෝෂණය කරගෙන. ඒක කලා වැවට ගිහිල්ලා වැටෙනවා. කලා වැවෙන් ගන්න වතුර ටිකෙන් කුඹුරෙ වැඩ කරනකොට පලදාව වැඩියි. මොකද ඒ වතුර පොස්පේට් සමග මිශ‍්‍ර වෙලා එන නිසා. වෙන තැනකින් යෝධ ඇළ හැදුවානම්, එය වෙන්නේ නහැ කියලා ධාතුසේන රජතුමා දැනගෙන හිටියා.
 
 ඔබ දන්නවා බි‍්‍රතාන්‍යයෙන් මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය පටන් ගනිද්දි ‘ගූගල් මැප්’ මගින් බැලූවා ‘කොතනද සොරොව්ව හදන්න ඕන?’ කියලා. ඒගොල්ලො ගොඩක් පර්යේෂණ කරලා තීරණය කළා සොරොව්ව හදන්න තැනක්. එතැනට ගිහිල්ලා බලපුවාම මීට අවුරුදු දහදහස් ගණනකට කලින් අපේ මුතුන් මිත්තෝ එතැන සොරොව්ව හදලා තිබිලා තියනවා. සොරොව්වක් එතැන හදලා, වතුර පාලනය කරලා, බෙදා හැරලා තියෙනවා. ඒ නිසා බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවන් මහවැලි ව්‍යාපාරය ආරම්භ කරන උත්සවයේ දී විනාඩියක පමණ නිශ්ශබ්දතාවයක් තිබ්බා, අපේ ඉපැරණි මිනිස්සු වෙනුවෙන්.
 
 බලපුවාම නාකොටික් එක කුඩු අල්ලනවා වගේම බෙදනවා. ගෝඨාභය ජනාධිපතිතුමා වගේ ජනාධිපති කෙනෙක් බලයට ආවේ නැත්තම්, රහස් පොලිසියට ඒ නිදහස දුන්නේ නැත්නම් කවදාවත් නාකොටික් නිලධාරීන් අල්ලයිද? ස්වාධීන පොලිස් කොමිසමක් තියෙනවා. හැබැයි කුඩු අල්ලන්නෙත් කුඩු බෙදන්නෙත් නාකොටික් නිලධාරීන්. මම නැවත නැවතත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, ‘යම් විදිහකින් ඔය නාකොටික් අයට අධිකරණයෙන් මරණ දඬුවම නියම කළොත් අනිවාර්යෙන්ම ඒකට අත්සන් කරන්න’ කියලා. මේ රටේ තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා විනාශ වෙනවා බලන්න අපට බැහැ. මම නම් ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ ‘මානව හිමිකම්’ ගැන මොන බයිලා තිබුණත් ජනාධිපතිතුමාට ඒ අත්සන පාවිච්චි කරන්න කියලා.
 
 අපේ රටට බුදු දහම හා බැඳුණු ශික්ෂණයක් තියනවා, විනයක් තියනවා, නමුත් අද වෙනකොට ඒක ටික ටික වියැකිලා ගිහින්. මනුස්ස ගුණාංග අහිමි කරගෙන යනවා. අපි රැුකුණේ අපේ තිබුණ වටිනාකම් පද්ධතිය එක්ක. නමුත් අපි අද අපේ දේ නැති කර ගනිමින් ඉන්නවා. පහුගිය ආණ්ඩු සමයේ නව ලිබරල්වාදී දේශපාලන දර්ශනයෙන් ගැහුවේ ඒ වටිනාකම් පද්ධතියටයි.
 
 ඔක්කොටම කලින් මුල හොඳට පොළොවට ඇද ගත්තු ගහක් වෙන්න ඕනෙ. මුල හොඳට පොළොවට අල්ලගෙන තියනවා නම්, කොළයක් දෙකක් වැටුණට කමක් නැහැ. එවිට අපිට පුළුවන් එන ඕනෙම අභියෝගයක් ජය ගන්න. ඒ නිසා අනාගතය අපි තරුණ ව්‍යාපාරයේ මේ තරුණ තරුණියන් පොළොවට මුල හොඳට අල්ලගත්තු ශක්තිමත් ගස් වෙන්න ඕනෙ. එවිට අපිට පුළුවන් එන ඕනෙම අභියෝගයක් ජය ගන්න.
 
 මේ යන ගමනේ කර්මාන්ත ඇමැති විදියට ඒ වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට මට පැවරිලා තියෙනවා. ඔබලා, ‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ යුගයේ තමන් නිපදවපු නිෂ්පාදනයක් ලෝකයට ගෙනියන්න පුළුවන් තරුණියක් - තරුණයෙක් බවට පත්වෙන්න. ස්වභාවධර්මයා මේ මහ පොළොවට දීලා තියෙන දේවල් ගොඩක් වැඩියි. මහ මුහුදෙන් වටකරලා තියෙන නිසා දේශසීමාව ස්වාභාවිකවම පිහිටලා තියෙනවා. මේ රටේ ජීවත් වන අපි මේ පොළොවට මුල් ඇදගත්තොත් ජයග‍්‍රහණය ලබන්න අමාරු වෙන්නෙ නැහැ. ඒක කරන්න නම් ගෝඨාභය රාජපක්ෂ දිනෙව්වා වාගේ නූතන පරම්පරාවේ හැඟීම් සහ මනස හඳුනාගත හැකි ජාතිකවාදී මනසෙන් සපිරුණු ජන නායකයන්ගෙන් පාර්ලිමේන්තුව පිරවිය යුතුයි. ජාතිකවාදී මනස තිබුණ නිසා තමයි අපි විජාතික කඳවුරකට බඩගෑවේ නැත්තේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාව නැවත ගේන්න ඕනෙ කියලා කියන්න ධෛර්ය එන්නෙ ඒ ජාතිකවාදී මනස අපිට තියෙන නිසා. එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යද්දි ජාතිය අවදි කරන්න අපිට පුළුවන් වෙන්නෙ ජාතිකවාදී මනසක් තියෙන නිසා. ජාතිකවාදී මනසක් සහිත ජන නායකයන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමෙන් පමණයි, මේ රට සුරක්ෂිත වෙන්නෙ, අවදානමෙන් ගැලවෙන්නෙ.
 
 ඉදිරි මැතිවරණයේදී ඔබේ භූමිකාව නිවැරදිව ඉටුකරන්න. පොළොවට මුල් බැසගත්ත තරුණයෙක් - තරුණියක් වෙන්න. කර්මාන්ත පුනරුද යුගයක් ඇතිවන විට ‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ යුගයක් අපි අරඹනවා. කර්මාන්ත වැඩි වෙනකොට රැුකීරක්ෂා වැඩි වෙනවා. තරුණ තරුණියන්ගේ රැුකීරක්ෂා තහවුරු වෙනවා. ඒ වගේම ඔබ රටට යමක් නිපදවන ක‍්‍රියාදාමයේ කොටස්කරුවෙක් වෙනවා. ‘රාජ්‍ය සේවයේ ලිපි ගොනු අස්සෙ සිරවෙලා තියෙන ජීවිතයක් වෙනුවට නව කර්මාන්ත පුනරුද යුගයේ ඔබ නිෂ්පාදන ක‍්‍රියාවලියේ කොටස්කාරයෙක් බවට පත් කරන්න අපි සූදානම්’
 
 මෙහිදී ප‍්‍රවීණ දේශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් ජයවර්ධන මහතා ද අදහස් දැක්වීය. මෙම අවස්ථාවට ‘අනාගතය අපි’ තරුණ ව්‍යාපාරයේ කැඳවුම්කරු ප‍්‍රවීණ රංගන ශිල්පී ගයාන් වික‍්‍රමතිලක, කොළඹ දිස්ත‍්‍රික් නායක දුලිප් සඳුන් රණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.
 
 
 
 
 
 
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles