Divaina - ලොව පුරා වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පෙරේදා වාර්තා වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p1 5මෙතෙක් ලොව පුරා රටවලින් දිනකදී වාර්තා වී ඇති වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව පෙරේදා (12දා) දිනයේ වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ අනුව පෙරේදා දිනයේ වාර්තා වී තිබූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂ තිස්දහස් තුන්සිය හැත්තෑවක් (230,370 ක්) බව එම සංවිධානය කියයි.

මෙම සංඛ්‍යාවෙන් බහුතරය වන කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ හතළිස් දෙදහස් නවසිය අනූ දෙකක් (142,992) ඇමරිකානු රටවලින්ද, තිස් තුන්දහස් එකසිය හැත්තෑ තුනක් (33,173) අග්නිදිග ආසියානු රටවලින්ද, දහඅටදහස් අටසිය හතරක් (18,804) යුරෝපයෙන්ද, දාහත්දහස් අටසිය අසූහතරක් (17,884) අප‍්‍රිකානු රටවලින්ද, පහළොස් දහස් තුන්සිය හැට එකක් (15,361) නැගෙනහිර මධ්‍යධරණී කලාපීය රටවලින්ද, බටහිර පැසිෆික් කලාපීය රටවලින් කොරෝනා ආසාදිතයින් දෙදහස් එකසිය පනස්හයක් ද (2156) වශයෙන් වාර්තා වී තිබේ.

පෙරේදා දිනය තුළ ලොව පුරා රටවලින් වාර්තා වී තිබූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව පන්දහස් දෙසිය අසූපහක් (5285) වූ අතර ඉන් බහුතරය ඇමරිකානු රටවලින් වාර්තා වී තිබිණි.

මේ අතර ඊයේ (13දා) දිනයේ ලොව පුරා රටවල් හා ස්වාධීන කලාප 215ක පැතිර පවතින කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව දහතුන් ලක්ෂය ඉක්මවූ අතර, කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව පන්ලක්ෂ හැත්තෑ එක්දහස ඉක්මවා ගොස් තිබිණි. මේ වන විට කොරෝනා ආසාදිතයින් තිස්හතර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් හා කොරෝනා මරණ එක් ලක්ෂ තිස්හත් දහසට අධික සංඛ්‍යාවක් වාර්තා වෙමින් ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව වාර්තා වී ඇති රට බවට ඇමරිකා එක්සත් ජනපදය පත්ව තිබේ.

ශ‍්‍රී ලංකාව මේ වන විට කොරෝනා ආසාදිත ලැයිස්තුවේ 107 වැනි ස්ථානයේ පසු වේ.

කීර්ති වර්ණකුලසූරිය, ඒමන්ති මාරඹේ

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles