චතුර පමුණුව
සිරිලකට බුදු දහම ලැබුණු අසිරිමත් පොසොන් පොහොය අදයි.
මිහින්තලා උදාගිරෙන් පෑයූ පොසොන් සඳ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේය. ඒ ධර්මාවලෝකය ස්වභාවික සඳ එළියට දුරු කළ නොහැකි වූ අඳුර දුරලමින් අනුබුදු මිහිඳු හිමියන් මෙරටට වැඩම කළේ බු.ව. 236 වැන්නෙහි යෙදුණු පොසොන් පොහෝ දිනයේ ය.
සිද්ධාර්ථ බෝධිසත්වයන් දුටු සතර පෙරනිමිතිවලින් තුන්වැනි නිමිත්ත වූ මළමිනියක් දර්ශනය වූයේ ද අද වැනි පොසොන් පුන් පොහෝ දිනයකයි. බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේ දී ශාක්‍ය කෝලිය වංශ දෙකෙන් පැවිද්ද ලැබූ පන්සියයක් හිමිවරුන් හිරු බැස ගොස් පොසොන් සඳ උදාවෙද්දී සියලූ කෙලෙසුන් නසා එකම මොහොතක මහරහත් ඵලයට පත් වූහ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හත් වසක් ඇවෑමෙන් තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු ධර්මාශෝක අධිරාජ්‍යාගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නව රටකට ධර්ම¥තයන් පිටත්කොට යැවිණි.
මේ මහා භද්‍ර කල්පයේ බිහිවූ සතරවන සම්බුද්ධ රාජ්‍යයේ උරුමක්කාරයන් බවට ශ්‍රී ලංකාවාසීන් පත් කරමින් අනුබුදු මිහිඳු මාහිමියන් ඉත්තිය, උත්තිය, සම්භල, බද්ධසාල යන මහරහතුන් පිරිවරා ෂට් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේ ද භණ්ඩුක උපාසක ද යන ¥ත පිරිස සමගින් උදේනි නුවර සිට මිස්සක පව්වට පොසොන් පොහෝ දා අහසින් වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ද මිහින්තලා පුදබිමේ දී ‘ආරෝග්‍යා පරමා ලාභා’ යන තේමාව යටතේ පැවැත්වේ. එම උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ප්‍රධාන අමුත්තන් ලෙස එක්වීමට නියමිතය.
ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් සීමිත පිරිසක් සහභාගී කරවා ගැනීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ අතර මෙම පොසොන් පොහොය දිනයේ ද රජය සහ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙස මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලීමක් කරති.
- Hits: 792