Divaina - පූජිත් සහ හේමසිරි ලබන 23 තෙක් රිමාන්ඞ් - ඇප නියෝගය නිශ්ප‍්‍රභ කෙරේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

P1 5හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (09 දා) පස්වරුවේ නියෝග කළාය.

එම සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදෙමින් තම අධිකරණය විසින් පසුගිය ජූලි 7 වැනිදා නිකුත් කළ ඇප නියෝගය නිශ්ප‍්‍රභ කර සැකකරුවන් දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණය විසින් නියෝග කොට ඇති බව පෙන්වා දුන් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නියෝගය කළාය.

ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් එම සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙමින් නිකුත් කළ නියෝගය අභියෝගයට ලක්කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබූ ප‍්‍රතිශෝධන අයැදුම්පත සම්බන්ධයෙන් ඊයේ (09 දා) පෙරවරුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළ කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් ඒ. කළුආරච්චි මහතා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ එකී ඇප නියෝගය නිශ්ප‍්‍රභ කළේය.

එකී තීන්දු ප‍්‍රකාශයෙන් අනතුරුව ඊයේ (09 දා) මහාධිකරණය හමුවේ පෙනී සිටි හේමසිරි ප‍්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර යන දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා තම තීන්දුවේ සහතික පිටපතක් සහිතව ඔවුන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

උගත් මහෙස්ත‍්‍රාත්වරිය එම ඇප නියෝගය නිකුත් කොට ඇත්තේ එකී අධිකරණයට නොමැති අධිකරණ බලයක් ආරෝපණය කරගනිමින් බව පුරා පැයකට ආසන්න කාලයක් විවෘත අධිකරණය හමුවේදී ප‍්‍රකාශයට පත් කළ සිය තීන්දුව මගින් පෙන්වා දුන් ප‍්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ඇප පනතේ 13 වන වගන්තිය කෙරෙහි අවධානය යොමු කිරීමකින් තොරව මහෙස්ත‍්‍රාත්වරිය විසින් නිකුත් කළ එකී ඇප නියෝගය තම අධිකරණයේ හෘද සාක්‍ෂිය කම්පනයට පත්කර ඇති බවද පෙන්වා දුන්නේය.

එම සැකකරුවන් දෙදෙනාගෙන් ප‍්‍රකාශ සටහන් කර මිනීමැරීම, ඒ සඳහා කුමන්ත‍්‍රණය කිරීම වැනි බරපතළ චෝදනා යටතේ සැකකරුවන් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව අපරාධ පරීක්‍ෂණ දොපර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීම මගින් නීතියේ අපගමනයක් සිදුවී ඇති බවද මහාධිකරණ විනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේය.

නීතිපතිවරයා විසින් ලබාදෙන ලද උපදෙස් අනුව ක‍්‍රියාකිරීම අධිකරණයේ වගකීම මිස එකී උපදෙස් නොතකා නීතිපතිවරයාට විධානය කිරීමේ අධිකරණ බලයක් මහෙස්ත‍්‍රාත් අධිකරණයට නොමැති බව එහිදී පැවසූ මහාධිකරණ විනිසුරුවරයා විමර්ශන සිදුකරමින් පවතින විට ලේඛන කිහිපයක් පිළිබඳව පමණක් අවධානය යොමු කර එම සැකකරුවන්ට ල.ද.නී. සංග‍්‍රහයේ 296 වගන්තිය යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට තීරණය කිරීමෙන් මහෙස්ත‍්‍රාත්වරිය නීතිය ඉක්මවා කටයුතු කර ඇතැයිද පැවසීය.

උගත් මහෙස්ත‍්‍රාත්වරිය එකී නියෝගය ලබා දෙමින් එම සැකකරුවන් සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ කුමන නෛතික බලයක් මතදැයි විමසා බැලිය යුතුව ඇති බව ද එහිදී පැවසූ මහාධිකරණ විනිසුරුවරයා උගත් මහෙස්ත‍්‍රාත්වරිය නිකුත් කළ එකී නියෝගය අධිකරණ විනිසුරුවරයකු විසින් නොකළ යුතුව තිබූ නියෝගයක් බව තම අධිකරණයේ මතය වන්නේ යැයිද පෙන්වා දුන්නේය.

මිනීමැරීමේ චෝදනා එල්ල වූ සැකකරුවකුට හෝ විත්තිකරුවකුට ඇප ලබාදීමේ බලය පැවරී ඇත්තේ මහාධිකරණයට පමණක් බවත් මහාධිකරණය විසින් පවා එවන් සැකකරුවකුට ඇප ලබාදීමේදී සලකා බලනුයේ නීතිපතිවරයා ඉදිරිපත් කරනා චෝදනා සම්බන්ධයෙන් නොව චෝදනාවල පවතින දුර්වලතා පමණක් බවත් මහාධිකරණ විනිසුරුවරයා පැවසීය.

මිනීමැරුම් චෝදනා එල්ල කර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනා විටකදී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනා සැකකරුවන් අවම වශයෙන් දින 14 ක කාලයක් හෝ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම අධිකරණය විසින් සිදුකරනු ලබන සාමාන්‍ය ක‍්‍රියාදාමය වුවත් දින 7 ක් තුළදී එකී සැකකරුවන්ට ඇප ලබාදීමෙන් මහෙස්ත‍්‍රාත් අධිකරණය පක්ෂග‍්‍රාහී ආකාරයෙන් කටයුතු කර ඇති බවට නීතිපතිවරයා නැගූ චෝදනා එක එල්ලේ බැහැර කිරීමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බවද මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා පැවසීය.

ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වගන්තිය යටතේ ඉදිරිපත් කරනු ලබන සැකකරුවන්ට එරෙහිව ලඝු නොවන නඩුවක් පවත්වා ප‍්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත් වී නොමැති නම් චෝදනා වලින් නිදහස් කිරීමට මිස ඇප ලබාදීමට මහෙස්ත‍්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවද සිය තීන්දුව මගින් පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා අපරාධ අතරින් බරපතළම අපරාධයක් වන මිනීමැරීමේ චෝදනාවට ඇපදීමේ බලය මහාධිකරණයට පමණක් හිමිව තිබියදී එලෙස ඇප ලබාදීම වැරදි සහගත බවද පැවසීය.

එම සැකකරුවන්ගෙන් ප‍්‍රකාශ සටහන් කිරීමකින් තොරව විමර්ශන නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීම අඩුපාඩුවක් බව මහෙස්ත‍්‍රාත්වරිය විසින් සිය ඇප නියෝගය මගින් පෙන්වා දී ඇති නමුත් ඇය විසින් කළ යුතුව තිබුණේ සැකකරුවන් ඇප මත මුදාහැරීම නොව ඔවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කරනා ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කිරීම වන්නේ යැයිද පැවසීය.

එය චෝදනා හෝ අධිචෝදනා පත‍්‍ර ගොනු ඉදිරිපත් කළ අවස්ථාවක් නොව මූලික විමර්ශන අවධියක් පමණක් වුවත් උගත් මහෙස්ත‍්‍රාත්වරිය එකී ඇප නියෝගය ලබාදීමට හේතුපාදක වූ කරුණු පෙන්වා දී ඇත්තේ මහාධිකරණයක් හමුවේදී දීර්ඝ නඩු විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව නිකුත් කරනා තීන්දු ප‍්‍රකාශයක් ආකාරයෙන් බව ද මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේය.

අපේ‍්‍රල් 21 වැනිදා ස්ථිර වශයෙන්ම ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වන බවටත් එකී ප‍්‍රහාර කුමන ස්ථානවලට කවුරුන් විසින් එල්ල කරන්නේද යන කරුණු දක්වමින් පසුගිය අපේ‍්‍රල් 20 වැනිදා පස්වරුවේ හා 21 වැනිදා පෙරවරුවේ එම සැකකරුවන් දෙදෙනාට බුද්ධි අංශ විසින් ඉදිරිපත් කළ වට්ස්අප් පණිවිඩ කෙරෙහි මහෙස්ත‍්‍රාත්වරිය අවධානය යොමු කළේ නම් එවැනි ඇප නියෝගයක් නිකුත් නොකරනු ඇතැයිද මහාධිකරණ විනිසුරුවරයා එහිදී පැවසීය.

පිළිගත් ක‍්‍රමවේදය අනුව එකී බුද්ධි තොරතුරු ලැබී නොමැති බවට මහෙස්ත‍්‍රාත් අධිකරණය ඇප නියෝගය මගින් පෙන්වා දී ඇති බවත් සාමාන්‍යයෙන් වට්ස්අප් පණිවිඩ කියවනුයේ විවේකී වේලාවලදී බැවින් එවැනි මාර්ගයෙන් ලැබුණ තොරතුරුවල වගකීම සැකකරුවන් වෙත පැවරීම යුක්ති සහගත නොවන බව මහෙස්ත‍්‍රාත්වරිය විසින් සිය ඇප නියෝගය මගින් පෙන්වා දී ඇති බවද මහාධිකරණ විනිසුරුවරයා එහිදී සිහිපත් කළේය.

කුමන ක‍්‍රමයකින් හෝ ලැබෙන තොරතුරු කෙරෙහි අවධානය යොමු කිරීම වගකිවයුතු තනතුරු දැරූ එකී නිලධාරීන් දෙදෙනා සතු වගකීමක් වන බවද එහිදී පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා එම සැකකරුවන් එකී වට්ස්අප් පණිවිඩ කියවා බලා ඇති බව පැහැදිලි වන බවත් පාස්කු ඉරිදා වැනි දිනකදී ප‍්‍රහාර එල්ලවීමේ ප‍්‍රවණතාව පවතිනුයේ කුමන ස්ථානවලටද කියනා කරුණ සාමාන්‍ය පොදු ජනතාවට වුවද වැටහෙන බවද පැවසීය.

එකී සැකකරුවන් තමන් වෙත ලැබුණ බුද්ධි තොරතුරු සැහැල්ලූ ලෙස සලකා බලා කටයුතු කර ඇති බවට හා එකී ප‍්‍රහාර මැඩපැවැත්වීමට ඔවුන් කිසිදු පියවරක් ගෙන නොමැති බවට පෙනී යන බැවින් එකී සැකකරුවන් දෙදෙනාට මිනීමැරීමේ චෝදනා යටතේ විමර්ශනය කිරීමට නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් නිවැරදි හා යුක්ති සහගත බව තම අධිකරණයේ මතය වන්නේ යැයිද මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එකී තීන්දු ප‍්‍රකාශය මගින් පෙන්වා දුන්නේය.

වටිනා මිනිස් ජීවිත 274 ක් බිළිගනිමින් තවත්, විශාල පිරිසක් තුවාලකරුවන් බවට පත්වූයේ වටිනා දේපළ විනාශ වූයේ එකී ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් ලැබුණ බුද්ධි තොරතුරු අනුව වහාම පියවර නොගැනීම නිසා බව තම අධිකරණයට හැ`ගී යන්නේ යැයිද පැවසූ මහාධිකරණ විනිසුරුවරයා බුද්ධි අංශ එකී තොරතුරු පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දෙවන සැකකරුට යොමු කර ඇත්තේ එය පහළ නිලධාරීන්ගේ අවධානයට යොමු කිරීමට නොව විධිමත් පියවර ගෙන එකී මැඩපැවැත්වීමට බවද මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

සැකකරුවන්ගේ එකී ක‍්‍රියාදාමය අනුව ඔවුන් චේතනාන්විතව සිය රාජකාරි වගකීම් පැහැර ඇති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ කරුණු දැක්වීම් බැහැර කිරීමට නුසුදුසු බව තම අධිකරණය තීරණය කළ බවත් සැකකරුවන්ගේ එකී ක‍්‍රියාදාමයට එරෙහිව ඉදිරිපත් වී ඇති ප‍්‍රතිශෝධන අයැදුම්පත රටටම බලපාන සුවිශේෂී කරුණක් අරබයා ඉදිරිපත් වී ඇති බැවින් සම්පූර්ණ තීන්දු ප‍්‍රකාශයම විවෘත අධිකරණය හමුවේදී ප‍්‍රකාශයට පත්කරනා බවද ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් ඒ කළුආරච්චි මහතා එහිදී පෙන්වා දුන්නේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එකී විමර්ශන ආරම්භ කරනු ලැබුවේ එකී සැකකරුවන් දෙදෙනා ඉලක්ක කොට නොව සමස්ත ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් බව තීන්දු ප‍්‍රකාශය අවසන් කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේය. එම සැකකරුවන් පමණක් නොව රාජකාරි පැහැර ඇති පොලිස් දෙපාර්තමේන්තුවේ සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධයෙන් ද තරාතිරම නොබලා ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට පියවර ගන්නා බවද එහිදී පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීමෙන් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු බෙහෙවින් අඩාල වූ බවද අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී නඩු කටයුත්ත කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉවත් කර වෙනත් මහෙස්ත‍්‍රාත් අධිකරණයක් හමුවේ කැඳවන ලෙසද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එකී ඇප නියෝග නිකුත් කොට ඇත්තේ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් බැවින් තම අධිකරණයේ නියෝගයද එකී අධිකරණයටම යොමු කළ යුතුව ඇතැයිද මහාධිකරණ විනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේය.

රජයේ අධිනීතිඥ සහන්‍යා නාරම්පනාව මෙනවිය සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ අසේල මුතුමුදලිගේ, නීතිඥ නයනා සෙනවිරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න, ජනාධිපති නීතිඥ අනුර මද්දේගොඩ යන මහත්වරුන් වගඋත්තරකාර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක සහ කසුනි රෙබෙකා  - ඡායාරූපය - නිමල් දයාරත්න

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles