කශුනි රෙබෙකා
පසුගිය වසරේ හම්බන්තොට දී පැවැති එල්. පී. එල්. තරගාවලියේදී වාර්තා වූ තරග පාවාදීමට සැලසුම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට පෙනී සිටීම මගහැරියේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක මහතා වෙනුවෙන් ඉදිරිපත්කොට තිබූ අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ අතිරේක මහෙස්ත්රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය ඊයේ (02දා) ප්රතික්ෂේප කළාය.
නීතිඥ නුවන් බෙලිගහවත්ත මහතා මගින් ගොනු කර තිබූ එම අපේක්ෂිත ඇප අයැදුම්පතේ පැවැති අඩුපාඩු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහෙස්ත්රාත්වරිය එම ඇප අයැදුම්පත ප්රතික්ෂේප කළ අතර නිසි ලෙස සම්පූර්ණ කළ අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරීමේ අයිතිය පවතින බවද එහිදී පෙන්වා දුන්නාය.
ක්රීඩා වැරදි සෙවීමේ පොලිස් විශේෂ ඒකකය විසින් කරනලද කරුණු දැක්වීමක් සලකා බැලූ අධිකරණය සචිත්ර සේනානායක මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කර තිබිණි.
සිය සේවාදායකයාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපමත මුදාහරින ලෙස ඉල්ලා නීතිඥ නුවන් බෙලිගහවත්ත මහතා එම අපේක්ෂිත ඇප අයැදුම්පත ගොනුකර තිබිණි. හම්බන්තොටදී පැවැති එල්. පී. එල්. ක්රිකට් තරගාවලියේ ආරම්භ වීමට පෙර එම තරගාවලියට සහභාගි
වූ ප්රකට ක්රිකට් ක්රීඩකයන් දෙදෙනෙකුට විදේශ රටක සිට සචිත්ර සේනානායක මහතා දුරකථන ඇමතුම් ලබාදී මුදලට තරග පාවාදීම සඳහා යෝජනා කළ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව ක්රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකය විසින් විමර්ශන ආරම්භ කොට තිබිණි.
- Hits: 356