ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මක සුපර් ලීග් පාපන්දු තරඟාවලියේ පෙරහුරු වටයේ තවත් තරගයක් ඊයේ (28) සවස පැවැති අතර එහිදී කළුතර බ්ලූ ස්ටාර්ස් ක්‍රීඩා සමාජය ගෝල් 02 - 00 කින් පරාජයට පත් කරන්නට කොළඹ රත්නම් සමාජය සමත් විය.
ජාත්‍යන්තර විනිසුරු ලක්මාල් වීරක්කොඩි මහතාගේ නලා හඬට අනුව ආරම්භ කෙරුණු මෙම තරගයේ ප්‍රථම භාගය නිමාවන විට දෙපිලටම එකදු ගෝලයක් හෝ වාර්තා කර ගැනීමට නොහැකි විය.
එහෙත් දෙවන භාගය ආරම්භ වීමත් සමගම මනා පන්දු පාලනයක් සමග ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් අදාළ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට රත්නම් ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණි.
පසුගිය සතියේ රෙඞ් ස්ටාර්ස් පිලට එරෙහිව ගෝල් 02 - 00 ක ජයග්‍රහණයක් වාර්තා කර ගත් බ්ලූ ස්ටාර්ස් පිලට ඒ අනුව මෙවර තරගාවලියේ පළමු පරාජය අත් විඳින්නට ඊයේ සිදු විය.
රත්නම් පිල මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් මුහුණ දුන් පළමු තරගයේදීම තම අපරාජිත බව ආරක්ෂා කර ගන්නට සමත් වූ අතර ඒ වෙනුවෙන් කැපී පෙනුණු එඩිසන් ෆිගුරාඩෝ 60 වෙනි මිනිත්තුවේ දී පළමු ගෝලය ද රාජ් කුමාර් ශාන්තන් 86 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය ද වාර්තා කරමින් කැපී පෙනුණි.
මේ අතර ඉකුත් සෙනසුරාදා (27 දා) සවස 05.00 ට පැවැති පළමු තරගයේදී පානදුර රෙඞ් ස්ටාර්ස් පාපන්දු සමාජය පරාජයට පත් කරමින් ගෝල් 02 - 01 ක තියුණු ජයග්‍රහණයක් සටහන් කරගැනීමට ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.
ජයග්‍රාහී ගෝලය තරගය අවසන් වීමට මිනිත්තුවක කාලයක් තිබියදී සටහන් කර ගැනීමට ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයෝ සමත් වීම මෙම තරගයේ කැපී පෙනුණු සිද්ධිය බවට පත්විය.
එදිනම රාත්‍රි 08.00 ට පැවති කොළඹ පාපන්දු සමාජය සහ නාවලපිටිය අප් කන්ටි්ර ලයන්ස් පාපන්දු සමාජය අතර පැවැති තරගයෙන් ගෝල් 03 - 01 ක පහසු ජයක් අත්කර ගැනීමට ප්‍රබල කොළඹ ක්‍රීඩකයන්ට හැකි වූහ.
තරගයේ ප්‍රථම භාගය නිමවන විට ගෝල් තත්ත්වය 02 - 00 ක් ලෙස විය.
පාපන්දු නීතියට හා ක්‍රීඩාවේ සදාචාරයට හානිවන ආකාරයෙන් තරග කිරීම හේතුවෙන් ක්‍රීඩකයන් දෙදෙනකු රතු කාඞ් පත මගින් පිටියෙන් පිටමං කිරීම මෙන්ම ක්‍රීඩකයන් 05 දෙනකු කහ කාඞ්පත මගින් තරයේ අවවාද කිරීම මෙම තරගයේ දී දක්නට ලැබුණු අවාසනාවන්තම සිද්ධිය ලෙස සඳහන් කළ හැකිය.
අනුරුද්ධ හේරත්බණ්ඩාර