ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන ‘ශ්‍රීමත් ජෝන් ටාබට්’ ජ්‍යෙෂ්ඨ ශූරතා පාසල් මලල ක්‍රීඩා තරගාවලියට අවුරුදු 21 න් පහළ වයස් සීමාව ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් පැවති අවුරුදු 20 න් පහළ වයස් සීමාවට අදාළ බාලක සහ බාලිකා ඉසව් සියල්ලම අභිනවයෙන් හඳුන්වාදී ඇති අවුරුදු 21 න් පහළ වයස් සීමාව යටතේ පැවැත්වීමට නියමිතය.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබුණු කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ගෙන ගිය වැඩපිළිවෙළට අනුව පසුගිය වසරේ ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ ශූරතා තරගාවලිය ද පැවැත්වීමට නොහැකි විය. එම තරගාවලියට
සහභාගිවීමට අවස්ථාව නොලද අවුරුදු 20 න් පහළ වයස් සීමාවේ පසු වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම වෙනුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.
තම පාසල් ජීවිතයේ අවසන් වතාවට එම තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් අවස්ථාව සලසා දීම උදෙසා මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති උපාලි අමරතුංග මහතා ‘දිවයින’ට පැවසීය.
අවුරුදු 16 න් පහළ (බාලක සහ බාලිකා) අවුරුදු 18 න් පහළ (බාලක සහ බාලිකා) හා අවුරුදු 20 න් පහළ (බාලක සහ බාලිකා) යන වයස් සීමාව වලට අමතරව අවුරුදු 21 න් පහළ වයස් සීමාව ද ඇතුළත් මෙවර ජ්‍යෙෂ්ඨ ශුරතා තරඟාවලිය එළඹෙන සැප්තැම්බර් මස කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට අදහස් කර ඇති අතර ඒ සඳහා අයදුම්පත් භාර ගැනීම දෙවන පාසල් වාරය ආරම්භ වීමෙන් පසුව සිදු කිරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් අභිනවයෙන් හඳුන්වාදී ඇති වයස අවුරුදු 21 න් පහළ (බාලක සහ බාලිකා) වයස් සීමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන එක් ඉසව්වක් සඳහා ක්‍රීඩකයන් 08 දෙනකු සිටීම අනිවාර්ය කර තිබීම විශේෂත්වයකි. ක්‍රීඩකයන් 08 දෙනෙකුට වඩා අඩු සහභාගිත්ව ඇති සෑම තරග ඉසව්වක්ම අවලංගු කිරීමට ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය කටයුතු යොදා ඇති බව එහි ලේකම් නෙවිල් රුද්‍රිගු මහතා අනාවරණය කළේය.
ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ ශූරතා තරගාවලිය ආශ්‍රිතව දිනා ගන්නා පදක්කමක ගෞරවය හා පිළිගැනීම ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මෙම තීරණයට එළැඹි බැව් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර