අයි. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට මේ වන විටත් මහේල ජයවර්ධනගේ
පුහුණුකාරීත්වයෙන් සහ රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන් කණ්ඩායම සමත් වෙද්දී අනෙක් ස්ථාන තුනට සිව්කොන් සටනක් නිර්මාණය වී තිබේ.
අවසන් පූර්ව වටයට පෙර සෑම කණ්ඩායමක්ම සම්පූර්ණ තරග 14 කට සහභාගි වේ. මේ වන විට තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අටම තරග 12 බැගින් සහභාගි වී ඇති අතර අවසන් දෙවැනි වටයේ අවසන් තරග දෙකේ ජයග්රහණ අනුව මුම්බායි ඉන්දියන් කණ්ඩායමට පසුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගත හැකිය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට තරග 12 කදී ජයග්රහණය අටක් සහ පරාජයන් හතරක් සමග ප්රසාද ලකුණු 16 ක් ලබා පෙරමුණ ගෙන තිබේ. ඔවුන් ඉතිරි තරග දෙක පරාජය වුවද අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත. මීට අමතරව තරග 12 කදී ප්රසාද ලකුණු 14 බැගින් ලබා ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි කැපිටල් කණ්ඩායම් සමත්ව තිබේ. ඔවුන් දළ ලකුණු වේගය අනුව දෙවැනි සහ තෙවැනි ස්ථානවල පත්ව ඇත.
මේ අතර සිව්වැනි ස්ථානයට පත්ව ඇති පන්ජාබ් කණ්ඩායම සමග කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමද ප්රසාද ලකුණු 12 ක් ලබා තිබේ. යම් හෙයකින් කෝලිගේ නායකත්වයෙන් යුත්
බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි කැපිටල් කණ්ඩායම ඉතිරිව ඇති තරග දෙකම ජය ගතහොත් සිව්වැනියා වීමට පන්ජාබ් සහ කොල්කටා අතර තරගයක් පවතී.
කෙසේ වෙතත් ඉතිරි තරග දෙක බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි කණ්ඩායම් පරාජය වුවහොත් හෝ එක් තරගය බැගින් ඔවුන් ජය ලැබුවහොත් අවසන් පුර්ව වටයේ ස්ථාන තුනක් වෙනුවෙන් සිව්කොන් සටනක් නිර්මාණය වුවද එහිදී ඉවතට විසිවන්නේ එක් කණ්ඩායමක් පමණි.
- Hits: 305