අයි. සී. සී. සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ දූෂණ නීති සංග්‍රහයේ වගන්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් මාස 12ක ක්‍රිකට් තරග තහනමකට ලක්වූ ෂකීබ් අල් හසන් යළිත් කණ්ඩායමට එකතු වන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටින බව බංග්ලාදේශ වැඩ බලන ක්‍රිකට් නායක මහමුදුල්ලා පවසයි.
ෂකීබ්ට පනවා ඇති ක්‍රිකට් තරග තහනම ලබන 29 වැනිදායින් අවසන් වේ. නමුත් මේ වන විට ෂකීබ් සිය පවුලේ උදවිය සමග ඇමරිකාවේ විවේකය ගත කරමින් සිටියි. තහනම අවසන් වීමෙන් පසුව නොවැම්බර් මස මුලදී යළිත් බංග්ලාදේශයට පැමිණිය යුතුවේ.
‘‘අපේ කොල්ලා ආපහු ගෙදර එනවා. ඒක මට ගොඩක් සතුටුයි. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් ෂකීබ් වසර ගණනාවක් තිස්සේ හොඳම ක්‍රීඩකයා වී තිබෙන බව අපි දන්නවා. ඔහු නැවත බංග්ලාදේශ ඇඳුමින් පිටියට පැමිණෙන තුරු අපි උනන්දුවෙන් බලා ඉන්නවා. ’’ යැයි මහමුදුල්ලා පවසයි.
මහමුදුල්ලා සහ ෂකීබ් වසර 13 ක් පුරා එකට බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබේ. ‘‘ෂකීබ් විශිෂ්ට ක්‍රීඩකයෙක්. මම හිතන්නේ නැවතත් ඔහුට සුපුරුදු රිද්මයට පිවිසීමට වැඩි කාලයක් ගත වෙන එකක් නැහැ. ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ විගසම ඒ රිද්මය ලබාගනු ඇතැයි මම විශ්වාස කරනවා. ’’ යැයි මහමුදුල්ලා පවසයි.
බංග්ලාදේශයේ මීළඟ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජනවාරි මස බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වීමට නියමිතය. ඊට පෙර ෂකීබ් අල් හසන්ගේ ශරීර යෝග්‍යතාව මැන බලමින් ඔහුට පුහුණුවීමට කාලය ලබාදීම සහ දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදෙන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.
- Hits: 250