Divaina - Kathuwakiya

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

දෙපානම, වීර මාවතේ පදිංචිව සිටි දෙද්දුව ජයතුංගගේ මනෝඡ් ප්‍රසන්න (52) නොම්මර එකේ වාතයක්‌ බව ඉඳුරාම පැහැදිලිය. කසිප්පු ගසා වෙරි වූ පසු ඔහු සිය බිරියට වධ දුන්නේය. එමතුද නොව සිය පුතුන් දෙදෙනාගේ බිරියන්ට වධ දුන්නේය. මීට දෙතුන් දිනකට පෙර තාත්තා මත්පැන් පානයන කළ පසු පුතාලා දෙදෙනා ඔහු බොල්ගොඩ වැව පැත්තට ගෙන ගියහ. එදා ඔහුට පිස්‌සු මරගාතයක්‌ වීමට ලැබුණේ නැත. ඔහුට මන්නයකින් කෙටූ පුත්තු ඔහුගේ සිරුර බොල්ගොඩ වැවටත් මන්නය හෝකන්දර වැවටත් විසි කර ගෙවල් බලා ගියහ.

ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්‌තාෆා රෝයල් කොලීජියේ තමන් සමඟ එක පන්තියේ සිටි "ක්‌ලාස්‌මේට්‌" ට සුගතදාස ස්‌ටේඩියම් එක භාරදීමෙන් සිදුවූ විපත්තිය අපි ඊයේ (09 දා) මේ තීරුව ඔස්‌සේ පැහැදිළි කළෙමු. මේ එළැඹ ඇත්තේ ක්‌ලාස්‌මේට්‌ලාගේ වාරයයි. අඹ වාරය, අලිගැට පේර වාරය, රඹුටන් වාරය මෙන් ක්‌ලාස්‌මේට්‌ලාගේ වාරයෙන් ක්‌ලාස්‌මේට්‌ලා ප්‍රයෝජනයක්‌ ගත යුතුය. මේ දිනවල මේ රට පාලනය කරන්නේ එකට රගර් ගහපු කට්‌ටිය, එකට ක්‍රිකට්‌ ගහපු කට්‌ටිය, එකට තාච්චි පැනපු කට්‌ටිය යනාදීහුය. තවත් අවුරුදු කිහිපයකින් එකට හිරේ හිටපු කට්‌ටිය සහ එකට FCID ගිය කට්‌ටිය මේ රට පාලනය කිරීමට ඉඩ තිබේ. කෙසේ හෝ වේවා ෆයිසර් මුස්‌තාපාගේ පන්තියේ ඉතිරි ළමයි සොයාගෙන ලංකාවේ සියලු ක්‍රීඩා සමාජ, සියලු ක්‍රීඩා පිට්‌ටනි, දියගම පුහුණු ට්‍රැක්‌ එක යනාදිය භාරදෙන ලෙස ඉල්ලමු. ඒ අතර දැනට අබලන් වී ඇති දියගම මලල ක්‍රීඩා ට්‍රැක්‌ එක අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව ද ක්‌ලාස්‌මේට්‌ කෙනකුට භාර දෙන ලෙස ඉල්ලමු. ඔහු හොඳ විශ්වාසෙට වැඩේ කරනු ඇත.
 
 ඒ කතාව පැත්තකින් තබමු. අපි ඔබෙන් (අ)සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක්‌ අසමු. ඔබ හිතන විදියට මේ රටේ මලල ක්‍රීඩාවට ජාතික පුහුණුකරුවෙක්‌ සිටිත්ද? නොසිටිත්ද? උත්තරය, අපට ජාතික පුහුණුකරුවෙක්‌ නැත. මෙයට කලකට පෙර සුනිල් ජයවීර, ඩර්වින් පෙරේරා යනාදී පුහුණුකරුවන් සිටියද 2016 න් පසු මලල ක්‍රීඩා සංචිතවලට අදාළ පුහුණුකරුවන් මිස ජාතික මට්‌ටමේ පුහුණුකරුවෙක්‌ ලංකාවට නැත. ඒ තනතුර දීමට තරම් සුදුසු ක්‌ලාස්‌මේට්‌ කෙනෙක්‌ද නැත. එසේ ඉන්නවා නම් හැරෙන තැපෑලෙන් පත් කර අවසන් නොවැ·
 
 ජාතික මට්‌ටමේ ප්‍රධාන පුහුණුකරුවකු නැති ක්‍රීඩාව ජනාධිපති නැති ආණ්‌ඩුවක්‌ හා සමානය. ඩර්වින්ගේ, සුනිල් ජයවීරගේ කාලයේදී මේ රට විසින් ඉතා විශිෂ්ට මලල ක්‍රීඩකයන් නිපදවා ඇත. එසේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩිකාවක වන සුසන්තිකා පසු කාලයේදී ගෙදර ජනේලයෙන් පැන පාරවල් දිගේ දිව ගියාට ඊට පෙර දුවන ලද්දේ ඔලිම්පික්‌ තරගවලටය. ඒෂියන් ගේම්ස්‌ වලටය.
 
 ශ්‍රී ලංකාවේ පාසල් මලල ක්‍රීඩා ඉතිහාසය පටන් ගන්නේ 1920 දීය. මෙරට මුල් වරට පාසල් මලල ක්‍රීඩා සංගමයක්‌ පිහිටුවන්නේ එම අවුරුද්දේය. මේ රටේ මලල ක්‍රීඩා ඉතිහාසය තව අවුරුදු 2 කින් අවුරුදු 100 සමරයි. එම ක්‍රීඩාවට සම්බන්ධ වූ ක්‍රීඩකයන් දිවගෙන ආවත් ක්‍රීඩාව පැමිණ ඇත්තේ පයින් බව ගතවූ අවුරුදු 100 දෙස බැලීමේදී පෙනී යයි. ගතවූ අවුරුදු 100 න් අවුරුදු 25 ක්‌ තුළ පමණි, හොඳම මලල ක්‍රීඩකයන් කිහිප දෙනකු බිහි කිරීමට ලංකාවට හැකි වන්නේ. ඉතිරි අවුරුදු 75 පුරාම කුසගින්නේ පිට්‌ටනිවල දිවූ දරුවන් තම ජීවිතයේ ඉතිරි හරිය ගෙවන්නේ බස්‌ ස්‌ටෑන්ඩ්වල කඩල විකිණීම, මුට්‌ට කර ගැසීම, කරත්ත තල්ලු කිරීම වැනි රැකියා කිරීමෙනි. ඩන්කට්‌ වයිට්‌ කෙනකු, කේ. ජී. භද්‍රd කෙනකු, එස්‌. එල්.බී. රෝසා කෙනකු, සුසන්තිකා ජයසිංහ කෙනකු, සුගත් තිලකරත්න කෙනකු වීම සඳහා ට්‍රැක්‌ එකට දිව එන ළමයි ටික දුරක්‌ දිවගොස්‌ මගින් හැරී ගෙදර ගොස්‌ නිදා ගනිති. මේ රටේ ආණ්‌ඩුව කඹුරන්නේ ක්‍රිකට්‌ වෙනුවෙන් පමණි. එයට හේතුව එය "පොෂ්" ක්‍රීඩාවක්‌ වීමය. එයට පිවිසෙන අයට බෙන්ට්‌ලි හෝ ඇස්‌ටන් මාටින් කාර්වල යා හැකිය. මලල ක්‍රීඩකයන්ට ගතහැක්‌කේ රෝද දෙකේ බයිසිකල්ය.
 
 පසුගිය දවස්‌වල සිදුවූ තක්‌කඩි වැඩක්‌ ගැන විස්‌තරය ජනාධිපතිතුමාගේ දැනගැනීම සඳහා මෙසේ සඳහන් කරමු. ලංකාවේ මලල ක්‍රීඩා සංචිත කිහිපයක්‌ තිබේ. මේවායේ සිටින ළමයින්ට මසකට රුපියල් 5000 ක්‌ බැගින් දීමනාවක්‌ ගෙවනු ලැබේ. ඒ මුදල දීමේ අරමුණ වන්නේ ක්‍රීඩකයන්ට අවශ්‍ය ශක්‌තිජනක පාන වර්ග හෝ ආහාර වර්ග සපයා ගැනීමය. සස්‌ටජන් ටින් 3 ක්‌ හා සීනි කිලෝ 2 ක්‌ ගත්විට, එහෙමත් නැතිනම් දෙසතියකට සෑහෙන ප්‍රොaටීන පානයන් මිලට ගත්විට මේ පන්දහස වාෂ්ප වෙයි. එහෙත් "නිකං ඉන්න අපට අහල ගියත් මදැ" යන කියමන උඩ අපේ ක්‍රීඩක දරුවන්ට මේ පන්දාහ බෙහෙවින් වටී. කෙසේ වුවද ක්‍රීඩා සංචිතවල සිටින දරුවන්ට මේ රුපියල් පන්දාහ ලැබුණේ පසුගිය අප්‍රේල් මාසය තෙක්‌ පමණි. මැයි, ජුනි, මාස සඳහා මුදල් ලැබුණේ නැත. ඒ අතර ජාත්‍යන්තර තලයේදී දස්‌කම් දැක්‌වූ කනිටු ක්‍රීඩකයන් කිහිප දෙනකු හමුවීමට ජනපති මෛත්‍රීට වුවමනා විය. ඒ දරුවන් ජනපති හමුවීමට නියමිත දවසේ උදේ පාන්දරම අවදි වූ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීහු කුණුකෙළ පෙරාගෙන ගොස්‌ මැයි, ජුනි සඳහා වූ ඇරියස්‌ දහදාහ ක්‍රීඩකයන්ට ගෙවීය. ඔවුන් එසේ කළේ ක්‍රීඩකයන්ට දීමනාව ගෙවා නැති බව දැන ගත්තොත් ජනාධිපතිතුමා යකා නැටීමට ඉඩ ඇති බැවිනි. අනෙක්‌ වැදගත් කාරණය වන්නේ මලල ක්‍රීඩා ජාතික පුහුණු සංචිතයේ සිටින ක්‍රීඩකයන්ටත් මාස දෙකකින් දීමනාව ගෙවා නැති බවය.
 
 මේ අනුව මේ රටට ක්‍රීඩා අමාත්‍යාංශයක්‌ අවශ්‍ය නැති බව පැහැදිළිය. කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ බිල්ඩිම ක්‌ලාස්‌මේට්‌ කෙනකුට බද්දට දී ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ක්‍රීඩාංගණයේ මඤ්ෙÆක්‌කා සිටුවීමෙන් වැඩි ප්‍රයෝජනයක්‌ ලබාගත හැක.

2012-2016 ලෝක අවදානම් දර්ශකයේ (World Risk Index) රටවල් 171ක්‌ අතුරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 63 වැනි ස්‌ථානයේය. මෙම දර්ශකයේ ඉලක්‌කම් අගය පහළ යැම යනු අවදානම ඉහළ යැමය. එම දර්ශකයේ දත්තවලට ශ්‍රී ලංකාව තුළ අවදානමකට ගොදුරුවීමේ හැකියාව සියයට 50.83කි. එම අවදානමට සාර්ථකව මුහුණදීමට ඇති හැකියාව අඩුවීම සියයට 78.80කි.

චිත්‍රාංගනී විඡේවීර පසුගිය කාලයේදී ජ.වි.පෙ. කෙරෙහි මහත් වූ ක්‍රෝධයකින් පසු වූ අතර එයට හේතුව වූයේ ජ. වි. පෙ. තම පවුලට කිසිදු සේවයක්‌ කර නැති බව ඇය කල්පනා කිරීමය. ජ.වි.පෙ. එම මතය ප්‍රතික්‍ෂේප කළ අතර විඡේවීර පවුල වෙනුවෙන් බොහෝ දේ කළ බව කියා සිටියේය. චිත්‍රාංගනී විඡේවීරගේ නිරර්ථක හබයාස්‌කෝපස්‌ උත්සාහයට උදව් කිරීමට ජ.වි.පෙ. එකඟ නම් එයින් හැඟෙන්නේ ඔවුන් ඉදිරි ඡන්ද සටනේදී දේශපාලන වාසි තකා චිත්‍රාංගනීට 'ප්ලග්' එකක්‌ ගසන්නට යන බව ය.

 

මේ රටේ ක්‍රීඩා ඇමැතිකම අර්ජුන රණතුංගට නොදීමේ ගිවිසුමක්‌ තිබේ නම් ඊළඟ විකල්පය වන්නේ නවීන් දිසානායක ක්‍රීඩා ඇමැති කිරීම බව අපි නිතර කල්පනා කළෙමු. එයට හේතුව, නවීන් දිසානායක, ගාමිණී දිසානායකගේ පුතා වීමය. මේ රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාව ගොඩ ගියේ ගාමිණී දිසානායක ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපතිව සිටි කාලයේදී ය. වරක්‌ පළපුරුදු ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට බැට්‌ කරන හැටි කියා දෙන්නට ගොස්‌ පොඩි පොඩි චොරවීම් කරගත් නමුදු, සමස්‌තයක්‌ වශයෙන් ගත්කල මේ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයීය ආදි ශිෂ්‍යයා ලංකාවට ටෙස්‌ට්‌ වරම් ලබා ගැනීමේදී පුරෝගාමී මෙහෙවරක්‌ කළේය. කෙසේ වුවද වසර 2015 දී නවීන් මේ රටේ ක්‍රීඩා ඇමැති වී මාස 8 ක්‌ වැඩ කළේය. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු එහිදී ක්‍රීඩාවට කළ මඟුලකුත් නැතá ඔහුට කරගත් මඟුලකුත් නැත. හැබැයි එක්‌ කාරණයක්‌ කියමු. නවීන් ඔහුට කලින් සිටි ක්‍රීඩා ඇමැති වූ මහින්දානන්ද අලුත්ගමගේට වඩා ඉන්තේරුවෙන්ම හොඳ මිනිහෙකි. රටේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ තිබෙන්නේ බනිස්‌ කෑමේ ක්‍රීඩාව, අලියට ඇහැ තැබීමේ ක්‍රීඩාව, ගෝනි රේස්‌ යනාදිය පමණක්‌ නම් මහින්දානන්දට කිසියම් සේවයක්‌ ක්‍රීඩාවට කරන්නට තිබිණ. එහෙත් කරුමය නම් ක්‍රීඩාව යනු පුළුල් විෂයයක්‌ වීමයි. නුසුදුසු ඇමැතියකුට ක්‍රීඩාව භාරදීම එකල සිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ වරදය.
 
 නවීන්ගෙන් පසු ක්‍රීඩා ඇමැතිකමට එන්නේ දයාසිරි ජයසේකර ය. එය ක්‍රීඩා පිට්‌ටනිය මැද දයාසිරි තනියෙන් ගැසූ මැච් එකකි. එහිදී දයාසිරි කොහොම වෙතත් රට පරාජය විය. රට පරදින විට ජනයා පරදියි. ජනයා පරදින විට බඩ පණුවෝ පරදිති. එවිට දේශපාලනඥයන්ට වවුලා පිටින් මිස රෙදි බැනියම් ඇඳගෙන ජනතාව ඉදිරියට යැමට බැරිය.
 
 දයාසිරිගෙන් පසු එන ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්‌තාපා ය. ඔහු සාමාන්‍යයෙන් ප්‍රසිද්ධව සිsටින්නේ පළාත් සභා ඡන්ද නොපැවැත්වීමටය. ක්‍රිකට්‌ නිලවරණය නොපැවැත්වීමටය. ඔහු ක්‍රීඩා ඇමැති වූ සැණින් රාජකීය විදුහලේ තම ක්‌ලාස්‌මේට්‌ ට සුගතදාස ක්‍රීඩාංගණය භාර දුන්නේය. ක්‌ලාස්‌මේට්‌, සුගතදාස ක්‍රීඩාංගණය යෙහෝවාගේ සාක්‍ෂිකරුවන්ට භාර දුන්නේය. ඒ කතාව මෙසේයá යෙහෝවාගේ සාක්‍ෂිකරුවන් නමැති ක්‍රිස්‌තියානි ආගමික නිකායේ මහ සමුළුව ඊයේ (8 දා) තෙක්‌ දින 3 ක්‌ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ සහ එළිමහන් ක්‍රීඩාංගණවල පැවැත්වුණේය. බැතිමතුන් 14700 ක්‌ සහභාගි වූ මේ සමුළුව වෙනුවෙන් ක්‍රීඩාංගණ දෙක දින 10 කට කිට්‌ටු කාලයක්‌ වසා තිබිණි. (දින ගණන චුට්‌ටක්‌ එහා මෙහා වීමට ඉඩ තිබේ. එයට කමන්න.) ආරංචියේ හැටියට යෙහෝවාගේ සාක්‍ෂිකරුවෝ ඒ සඳහා මිලියන 6 ක්‌ පමණ ස්‌ටේඩියම් එකට ගෙවා ඇත. (ගාන චුට්‌ටක්‌ එහා මෙහා වීමට ඉඩ තිබේ. එයට කමන්න.)
 
 මෙය මලල ක්‍රීඩාවේදී විශාල විපතකි. ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩකයන්ට පුහුණුවීම සඳහා ට්‍රැක්‌ 2 ක්‌ තිබේ. පළමුවැන්න සුගතදාස ක්‍රීඩාංගණයේ ට්‍රැක්‌ එකය. දෙවැන්න දියගම මහින්ද රාජපක්‍ෂ ට්‍රැක්‌ එකය. දියගම ට්‍රැක්‌ එක මේ දිනවල පවතින්නේ යුද සමයේදී A9 පාර පැවුතුණා හා සමානවය. ට්‍රැක්‌ එක විශාල වශයෙන් හානියට පත්ව තිබෙන අතර බිම් බෝම්බ වළවල් සහ අලි බහින වළවල් හැර වෙනත් සියලු ආකාරයේ වළවල්වලින් ගහනය. (වළේ ප්‍රමාණය චුට්‌ටක්‌ එහා මෙහා වීමට පුළුවන්. ඒ ගැන කමන්න) මේ නිසා මලල ක්‍රීඩා තරග සඳහා පුහුණු වීම පිණිස අපේ ළමයින්ට තිබෙන එකම ට්‍රැක්‌ එක ස්‌ටේඩියම් ට්‍රැක්‌ එකය. යෙහෝවා බැතිමතුන්ගේ මහ සමුළුව වෙනුවෙන් සුගතදාස ක්‍රීඩාංගණය වසා තිබූ කාලයේදී ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් සඳහා උදේ 9.00 තෙක්‌ ක්‍රීඩකයන්ට ඉඩ ලබා දී තිබිණි. මෙසේ කාලය සීමා වීම නිසා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවලට යන ක්‍රීඩකයන්ට පවා ප්‍රමාණත් පුහුණුවක්‌ ලබා ගැනීමට බැරිවිය. ඒ මදිවට ට්‍රැක්‌ එක හරහා වයර් ද ඇද තිබිණි. යෙහෝවාගේ සාක්‍ෂිකරුවන්ගේ සමුළුවට සුගතදාස ක්‍රීඩාංගණය ලබා දීම ගැන අප ටිකක්‌ වත් විරුද්ධ නැත. එය ආගමික උත්සවයකි. බුදුÊදහම ප්‍රමුඛ ආගම වන මේ රටේ සෙසු ආගම් සහ ඇදහිලිවලට ද තිනක්‌ තිබිය යුතු බව මේ පුවත්පතේ මතයයි. එහෙත් සුගතදාස ක්‍රීඩාංගණය යනු ක්‍රීඩා කටයුතු සඳහා සාදන ලද්දකි. ක්‍රීඩාංගණය යන නමේම ඒ බව ඇත. මේ සිදු වූ වරදට වගකිව යුත්තේ කවුද? ෆයිසර් මුස්‌තාපාගේ ක්‌ලාස්‌මේට්‌ මෙයට වග කියනවාද?
 
 පසුගිය දිනවල ජපානයේ පැවැති ආසියානු කනිටු මලල ක්‍රීඩා තරගයේ මීටර 400 ජය ගත්තේ 18 හැවිරිදි ශ්‍රී ලාංකික දරුවෙකි. දුර පළාතක ගැමි දරුවකු වූද, අධ්‍යාපනය සහ ක්‍රීඩාවට අමතරව ගොවිතැනෙහි යෙදෙන්නා වූද, මේ දරුවා සුගත් තිලකරත්නගේ වාර්තාවට තත්පර 2 ක්‌ පමණ මෙහායින් සිටි ළමයෙකි. මේ ළමයින්ට හරියාකාර කෑමක්‌ බීමක්‌ නැත. ක්‍රීඩකයන්ට දෙන වේ ප්‍රොaටීන හෝ වෙනත් විටමින වර්ග මේ දරුවන් අසා මිස දැක නැත. ඔවුහු රැයක්‌ එළිවනතුරු ගුවන් යානයක ගමන් කර නිදි මරගාතේම ක්‍රීඩා පිට්‌ටනිවලට ගොස්‌ දුවන්නට පටන් ගනිති. එවිට මුලින් දුවන්නෝ ඔවුන්ගේ කුස තුළ සිටින බඩපණුවෝය. ළමයි දිව එන්නේ උන් පසුපසය. මලල ක්‍රීඩා සංචිතවල සිටින මේ දරුවන්ට ආණ්‌ඩුවෙන් දීමනාවක්‌ හිමි නමුදු එය ගෙවන්නේ නැත. ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට කුමක්‌ වීද? එය කා විසින් ගිල දමන ලද්දේ ද?
 
 (ක්‍රීඩකයන්ට දෙන මුදල් ගසා කෑම ගැන හෙට මේ තීරුවෙන් කියවමු.)

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles