කොටස් වෙළෙඳපොළ අස්ථාවර වී තිබේ. රුපියල තවත් බාල්දු වීම නිසා ඇමරිකානු ඩොලරයකට රුපියල් 155.90 ක් ගෙවීමට සිදුව ඇත. මේ සියලු අර්බුද හට ගන්නේ රටේ උද්aගතව ඇති දේශපාලන අර්බුදය නිසාය. එජාපය හා ශ්රීලනිපය අතර අර්බුදය සීතල යුද්ධයක් බවට පත්ව ඇත. තමන්ට නිසි ජනවරම නොලැබීම නිසා ආණ්ඩුවේ නායකයෝ තක්බීර් වී සිටිති. යහපාලනය ජනතාව ප්‍රතික්ෂේප කර ඇති හෙයින් තවදුරටත් මේ ආණ්ඩුව පවත්වාගෙන යැමේ සදාචාරාත්මක හැකියාවක් තිබේද යන්න ප්රශ්නයකි. වෙනස අවුල් වී එයින් රටේ ආර්ථිකයට බරපතළ ප්‍රශ්න ඇති වුවහොත් එයින් පීඩාවට පත් වන්නේ කවරකුද? මහජනතාවය. පරාජයට හේතු සෙවීමෙන් රටට යහපතක් අත් නොවේ. වහාම මේ දේශපාලන අර්බුදය විස¹ ගැනීමට අපහසු වුවහොත් මාලදිවයිනේ තත්ත්වය මෙරටටත් ආදේශ විය හැකිය. ලංකාවේ දේශපාලන අර්බුදය නිසා ඇමරිකානු හා ඉන්දියානු තානාපතිවරු ද කලබලයට පත්ව තිබේ. මේ දෙදෙනාම ජනපතිවරයා සහ අගමැතිවරයා හමුවී පැවසුවේ කුමක්දැයි අප දන්නේ නැත. නමුත් පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිසා ඉන්දියාවත්, ඇමරිකාවත් කලබල වන්නේ ලංකාවේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනස් විය හැකි වන නිසාය. යහපාලන දේශපාලන න්‍යාය පත්‍රය සකස් කිරීමට ඇමරිකාව හා ඉන්දියාව ප්රමුඛ මෙහෙයක් කළ බව රහසක් නොවේ. නමුත් රාජපක්ෂ ආගමනයෙන් මේ සියලු න්‍යාය පත්‍ර ආපසු හැරෙන බව මේ දෙරට අවබෝධ කරගෙන සිටිත්ද?
ඉන්දියාවට හා ඇමරිකාවට අවශ්‍ය ලෙස මෙරට දේශපාලනය තීරණය විය යුතු නැත. මෙරට දේශපාලන ඉදිරි ගමන තීරණය කරන්නේ ලාංකික ඡන්ද දායකයාය. ඒ හඬට රටේ නායකත්වය සවන් දිය යුතුය. සවන් නොදීමෙන් සිදු වන්නේ ස්ථාවර රට අස්ථාවර වීමය. කොටස් වෙළෙඳපොළ කඩාවැටී රුපියල වේගයෙන් බාල්දු වීමද මෙයට හොඳ උදාහරණයකි. වෙනදා නම් දේශපාලන අස්ථාවර භාවයක් ඇති වූ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල ජනපතිවරයා සතු විය. නමුත් සිවිල් සමාජය සතුටු කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ 19 වැනි සංශෝධනය නිසා සිදුව ඇත්තේ කුමක්ද? විධායක ජනපතිගේ බලතල අඩු වීමය. මෙයින් රටට යහපතක් අත්ව නැත. සිදුව ඇත්තේ අස්ථාවරත්වයක් ගොඩනැඟීමය. මේ ඊනියා සංශෝධනවලින් සිදු වන්නේ රට අගාධයට ඇදී යැමකි. මේවා වෙනුවෙන් කෑමොර දුන් ඊනියා සිවිල් ක්‍රියාධරයෝ අද පෙනෙන්නට නැත. මොවුන් සැඟවී ඇති සෙයකි.
කෙසේ නමුත් රට අස්ථාවරත්වයට පත් නොකර සෘජු තීන්දු ගැනීම ජනපතිවරයා සතු යුතුකමකි. දිගින් දිගටම දේශපාලන අර්බුද පැවැතුණහොත් සිදු විය හැක්කේ මහජන කැළඹීමකි. එය ගැටුමක් බවට පත් වුවහොත් සිදු වන්නේ අනර්ථයකි. ඔළු ගෙඩි මාරුවකින් පමණක් දේශපාලන ස්ථාවරත්වය ඇති කළ නො හැකිය. ඒ සඳහා මේ මොහොතේ බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇත.
- Hits: 4302