පුංචි ඡන්දයේ උණුසුම තවමත් පහව ගොස් නැත. රටේ තොටේ තවමත් කතා බහ ඒ ගැනය. ඊට ප්‍රධානතම හේතුව පොදුජන පෙරමුණ ගත් ඓතිහාසික ජයග්රහණයය. එය එසේ මෙසේ ජයග්‍රහණයක් නොව ඓතිහාසික ජයග්‍රහණයකි. එය දෙවැනි වන්නේ 56 පෙරළියට පමණක් යෑයි කියන්නේ ඒ නිසාය. කාරණා කිහිපයක් නිසාම මේ ජයග්‍රහණය ගැන කතා කළ යුතුය. ඉන් පළමුවැන්න මෙම මැතිවරණය පැවැත්වූයේ කේවල හා මිශ්‍ර ක්‍රමයක් යටතේ නියෝජිතයන් තෝරා ගන්නා මැතිවරණ ක්‍රමයක් යටතේ ප්‍රථමවරට වීමය. දෙවැන්න එම ක්‍රමය යටතේ මැතිවරණයට මුහුණ දුන් ලාබාලම පක්ෂය (එනම් පිහිටුවා කෙටි කලක් ඇතුළත ඡන්දයට මුහුණ දුන්) වූයේ පොදුජන පෙරමුණ වීමය. තුන්වැන්න මෙම මැතිවරණය පැවැත්වූයේ රටේ ප්‍රධානම පක්ෂ දෙකක් (එහි නායකයන් ජනපති හා අගමැතිවරයා වශයෙන් සිටියදී) බලයේ සිටියදීම වීමය. ගෙවී ගිය වසර 70 ක කාලය තුළ වරින්වර රටේ පාලනය භාරගත්තේ එජාපය හෝ ශ්‍රීලනිපයයි. ඉනිදු පසුකාලීනව දීර්ඝ කාලයක් ආණ්ඩු බලය හිමිකර ගත්තේ ශ්‍රීලනිපයයි. කොටින්ම කීවොත් මේ පක්ෂ දෙකෙන් පිට වෙනත් කිසිදු පක්ෂයකට බලය හිමි නොවන මට්ටමේ කතා බහක්ද සමාජගත වී තිබිණි. ඒ නිසාම එදිනෙදා දේශපාලන සංවාද, වාද විවාද, ගෝරිවලට පැටලුන බොහෝ දෙනෙක් "කැපුවත් කොළ", "කැපුවත් නිල්" මට්ටමේ අය විය. 2015 ජනවාරි 08 වැනිදා මේ පාර්ශ්වයන් දෙකම එකට එකතුවී ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය. එය යහපාලනය නම් විය. ශක්තිමත් පක්ෂ දෙකක් එකට එකතුවූ විට රටේ විශාල පෙරළියක් ඇතිවනු ඇතැයි රටේ ජනතාව බලාපොරොත්තු වුවද එය එසේ සිදුවූයේ නැත. "ගැටවර පක්ෂයකට" රටේ බලය "පුංචිම තැන" සිට අල්ලන්නට පාර කැපුණේ එහෙමය. "කැපුවත් කොළ", "කැපුවත් නිල්" කියතත් බහුතරයක් ජනතාව කුරහන් පාටට, එතරම් ආකර්ෂණය වූයේ යහපාලනයට අවුරුදු තුනක් ගතවීත් "ජනතාව තේරුම් ගන්නට" අපහසු වීම නිසාය.
ඊයේ (12 දා) පුවත්පත් බොහොමයක ජනාධිපතිවරයා හා අගමැතිවරයා 2020 තෙක්ම සම්මුති ආණ්ඩුව ගෙන යන්නට තීරණය කර ඇති බව කියෑවෙන ප්රවෘත්ති වාර්තා පළ කර තිබිණි. එමෙන්ම "ආණ්ඩුව ඇතුළේ ජනතාවට දැනෙන වෙනසක් කරනවා" යෑයි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් කැඳවා කී බවද වාර්තාවී තිබිණි. පසුගිය අවුරුදු තුන පුරාවටම වරින්වර රටේ ජනතාවට මේ "දැනෙන වෙනස" ගැන විවිධ කතා අහන්නට ලැබිණි. ඇත්තෙන්ම කීවොත් ඒ කාලය තුළ ජනතාවට "දැනී" තිබුණු "වෙනස" මේකදැයි අප අහන්නට ඉක්මන් වන්නේ නැත. ඒ බව යහපාලන ආණ්ඩුවේ කොයි කවුරුත් තේරුම්ගත යුත්තකි. යහපාලන ආණ්ඩුව පත්වූ දා පටන් මේ වනතෙක් "පුද්ගල විවේචන" සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබාදී තිබුණු බව අමුතුවෙන් කිව යුතු නැත. උදාහරණයක් ලෙස හොරු අල්ලනවා යෑයි කියා "පුද්ගල විවේචන" කරනවා මිස සිද්ධි විග්රහ කිරීමක් හෝ විමර්ශන, ක්‍රියාත්මක වීම් දකින්න ලැබුණේ ඉතාම අඩුවෙනි. කොහොමත් ජනතාව මේ ගෙන ඇති තීන්දුව තරමක් බරපතළ එකකි. ජනතා වරමට පිටුපා යන කවරෙකුට වුවද අත්වන ඉරණම මෙය බව වත්මන් ආණ්ඩුවත්, ආණ්ඩු පිහිටුවීමට යන උදවියත් තේරුම් ගැනීම යහපත්ය.
- Hits: 3384