පළාත් පාලන ආයතන 340 කට පත්විය යුතු අවම සභිකයන් 8328 ක් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම අද සිදු කෙරේ. මධ්‍යස්ථාන 13,117කදී සිදු කෙරෙන මෙම ඡන්ද විමසීමට මහ නගර සභා 24 ක්, නගර සභා 41 ක් හා ප්‍රාදේශීය සභා 275 ක් සඳහා ශ්‍රී ලාංකිකයන් 15,760,867 ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති. ශේ්‍රෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව ඡන්දය අත්හිටුවා ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද දායකයන්ට හැර අනිකුත් සියලු දෙනාට අද සිය ඡන්දය ප්‍රකාශ කළ හැකිය.
මෙම පළාත් පාලන ඡන්දය පැවැත්වෙන්නේ නව ඡන්ද ක්‍රමයකට අනුව වීම විශේෂත්වයකි. 1977 පැවැති මහ මැතිවරණයෙන් පසුව කේවළ හා සමානුපාතික ක්‍රමයට මැතිවරණයක් පැවැත්වෙන්නේ පළමු වැනි වරටය. එම නිසා මෙම ඡන්ද විමසීම පිළිබඳව රට පුරා නව කතිකාවතක් ඇති වී තිබේ. ඒ වගේම 1977 පසු මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා ඉතා අවම මැතිවරණය බවට මෙය ඉතිහාස ගත වී අවසන්ය. එහි සියලු ගෞරවය හිමිවන්නේ රටේ ජනතාවටය. මන්ද, රට ප්‍රපාතයකට ඇදගෙන යමින් තිබූ සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් කරන ලෙසට මුලින්ම අරගල කරන ලද්දේ ජනතාව බැවිනි. එම නිසා කේවළ ක්‍රමයට මැතිවරණ පැවැත්වීම ආණ්ඩුව විසින් කැමැත්තෙන් ලබාදුන් දෙයක් නොව එය වසර ගණනාවක් තිස්සේ ප්රජාතන්ත්රවාදයට කැපවුණ ජනතාව විසින් අඛණ්ඩව කරන ලද ජනතා අරගලයක ප්රතිඵලයකි. ජනතාව විසින් ගෙනයන ලද අරගලය තවදුරටත් සාර්ථක වන්නේ ගමට, නගරයට සැබෑ සේවයක් කළ හැකි මහජන නියෝජිතයන් පත්කර ගැනීමෙන් පමණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා මහතා පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ අ.පො.ස. (සා.පෙළ) සමත් නැති 94 ක් ද අ.පො.ස. (උ. පෙළ) සමත් නැති 142 ක් ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 තුළ සිටින බවය. මෙය සැබෑවක් බව පෙනෙන්නේ රටේ උත්තරීතර ආයතනයේදී මේ මන්ත්‍රීවරු හැසිරෙන ආකාරය දුටු විටය. එමනිසා මෙවර මැතිවරණයේදී එවැනි නූගතුන්ට රටේ අනාගතය තීන්දු කරන ආයතනවලට ඇතුළු වීමේ දොරටුව වසා දැමීමේ අවස්ථාවක් ජනතාවට ලැබී තිබේ. මේ සඳහා ජනතාව විසින් අවධානය යොමුකළ යුතු ප්‍රධානම කරුණ වන්නේ හොරුන්ගෙන්, තක්කඩියන්ගෙන්, වංචනිකයන්ගෙන්, කුඩුකාරයන්ගෙන්, කසිප්පුකාරයන්ගෙන්, ස්ත්‍රී දූෂකයන්ගෙන් පළාත් පාලන ආයතන බේරාගෙන. උගත්, බුද්ධිමත් සහ විනයගරුක පුද්ගලයන්ට පළාත් පාලන ආයතනවල පාලනය බාරදීමට ඡන්දදායකයන්ට කළ හැක්කේ එකම එක් දෙයකින් පමණි. එනම් ඡන්ද බලයෙනි. එබැවින් හැඟීම් සහ ආවේගවලට වහල් නොවී බුද්ධිය සහ තර්කය අනුව කටයුතු කරමින් වඩාත් සුදුසු පුද්ගලයන් සොයා බලා එවැනි අයට පළාත් පාලන ආයතනවල බලය පැවරීම ජනතාවගේ පරම යුතුකම වේ.
ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයකදී මහජනතාව තෝරනු ලබන නියෝජිතයන් බුද්ධිමතුන් නොවන්නේය යන්න වෙස්ට්මිනිස්ටර් ක්‍රමයත්, විධායක ජනාධිපති ක්‍රමය පවතින ඇමෙරිකා එක්සත් ජනපදයේත් එදා පටන් අද දක්වා පොදුවේ පිළිගන්නා සම්මතයකි. එය සත්‍යයක් බව පෙනෙන්නේ ඕනෑම දුෂිතයකුට බහුතර ජනතාවගේ කැමැත්තෙන් ජනතා නියෝජිතයකු විය හැකි බැවිනි. මෙම නියෝජිතයා ඊළඟ මැතිවරණයේදී රටේ පාලකයා වීමට ද පාර කපනුයේ බහුතර ජනතාවගේ කැමැත්තය. නමුත් මහජනතාවට මෙම අර්බුදය විසඳා ගැනීමට වෙනත් මඟක් නැත. ඇති එකම මඟ ප්රජාතන්ත්රවාදයම පමණි. එම නිසා ජනතාව බුද්ධිමත් වීමෙන් ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයේ පවතින අර්බුද රැසක් පහසුවෙන් විසඳිය හැක. අද ඔබේ ඡන්දය රටේ වටිනාම සම්පත බවට පත් වන්නේ ඒ අනුවය. එම වටිනාකම අර්ථපූර්ණ කිරීමේ වගකීම ඔබට භාරය.