මෙරට විදේශ අමාත්‍යාංශය කටයුතු කරන්නේ කාගේ උපදෙස් මතද යන්න ප්රශ්නයකි. රටේ විධායක ජනාධිපතිවරයාටත් අවනත නොවන විදේශ අමාත්‍යාංශයක් ක්‍රියාත්මක වීම පුදුම සහගතය. ශ්‍රී ලංකා විරෝධී බලවේගයන්හි සතුට වෙනුවෙන් මේ අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කිරීම කනගාටුදායකය. රුපියල් බිලියන ගණනින් විදේශ අමාත්‍යාංශයට වෙන්කරනු ලබන්නේද මහජනතාවගේ බදු මුදල් බව මෙම නිලධාරීන් අමතක නොකළ යුතුය. නමුත් මෙම අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ක්‍රියාකරන්නේ ජාතික අභිලාෂයන්ට එරෙහිව බව පැහැදිලිය.
ලන්ඩනයේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු මහතා හදිසියේම එම තනතුරින් ඉවත් කරන්නට විදේශ අමාත්‍යාංශය කටයුතු කළේ දෙමළ ඩයස්පෝරාවේ සතුට වෙනුවෙන් දැයි අපි නොදනිමු. මෙම සිද්ධියට අදාළ බ්‍රිගේඩියර්වරයා මහා අපරාධයක් සිදු කල බවට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කළේ මොන නිර්නායක යටතේ දැයි පැහැදිලි නැත. ඒ අභිනය රාජතාන්ත්‍රික වරදක්ද? ප්රභාකරන් අපේ වීරයා යනුවෙන් කෑ ගැසූ කොටි ත්‍රස්තවාදී සහචරයන්ට ශ්‍රී ලංකා ධජය පෙන්වීම වරදක් ලෙස විදේශ අමාත්‍යාංශය සලකන්නේද?
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට පැමිණියේ පූස් පැටවුන් නම් නොවේ. තහනම් ත්‍රස්ත සංවිධානයක අනුගාමිකයන් පිරිසකි. මොවුන්ගෙන් සමහරු ප්රභාකරන්ගේ රුව සහිත ටී - ෂර්ට්වලින් ද සැරසී සිටියහ. මේ පිරිස මහකොමසාරිස් කාර්යාලයේ ජාතික කොඩිය ඉරා දමන තෙක්ම බලා සිටිය යුතුද? විදේශ අමාත්‍යාංශය සතුටු වන්නේ බ්‍රිගේඩියර්වරයා කොටි අනුගාමිකයන් සමඟ සිනහසී ඔවුන් වැළඳගත්තා නම් යෑයි මෙම නිලධාරීන් කල්පනා කළා දැයි අපි නොදනිමු.
එහෙත් ජාති හිතෛෂී බ්‍රිගේඩියර් ප්‍රියංක සිය ජාතික අභිමානය ඉතා ඉහළින් ආරක්ෂා කළ බව පැහැදිලිය. ඔහු කටයුතු කළේ රටේත් ශ්‍රී ලංකා හමුදාවේත් ගෞරවය රැකෙන පරිදිය. ජාතියේ ගෞරවය ආරක්ෂා කළ බ්‍රිගේඩියර්වරයා පිළිබඳව විදේශ අමාත්‍යාංශයේ කළු සුද්දන් අනුගමනය කළ ක්‍රියා පටිපාටිය කිසිසේත් අනුමත කළ නො හැකිය. එහෙත් සිදු වන්නට ගිය බලවත් අකටයුත්තක් නිවැරදි කිරීමට ජනාධිපතිවරයාට හැකි විය. බ්‍රිගේඩියර්වරයා වරදකරුවකු කර ලංකාවට පිටත්කර එව්වා නම් එහි බලවත් දොaෂාරෝපණයට මුහුණදෙන්නට සිදු වන්නේ ද රටේ ප්රධානියාටය. එනිසාම ජනාධිපතිවරයා රටේ ආරක්ෂක ඇමැති ලෙස බ්‍රිගේඩියර්වරයා වෙනුවෙන් පෙනීසිටීම වැදගත්ය.
කොටි ත්රස්තවාදීන්ගේ යකඩ හස්තයෙන් මුලතිව් මුදාගැනීම වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් ඉටුකළ බ්‍රිගේඩියර් ප්‍රියංක විශිෂ්ට හමුදා නිලධාරියෙකි. මේ විශිෂ්ට නිලධාරියාගේ අගනා සේවයට කළු පැල්ලමක් එකතු කරන්නට විදේශ අමාත්‍යාංශයේ කළු සුද්දන් උත්සාහ දැරූ බව පෙනේ. ජාති හිතෛෂී නිලධාරීන්ට එරෙහි වන කළු සුද්දන් කවුරුන්දැයි සොයා බලා රට ඉදිරියේ මොවුන් හෙළිදරව් කළ යුතුය. එය ජාතික යුතුකමකි.