තවත් ගොවියෙකුට සියදිවි එපා වී ඇත. ණය ගෙවා ගැනීමට නොහැකිව වස බී සියදිවි නසාගෙන ඇත්තේ පොලොන්නරුව එරබුදුඔය ප්‍රදේශයේ 36 හැවිරිදි ගොවියෙකි. මෙය වත්මන් සමාජ ඛේදවාචකයේ ම තවත් පැතිකඩක් නොවේද? නූතන ගොවි පරපුර සිනහසෙන බවක් නම් නොපෙනේ. ජල හිඟයෙන්, පොහොර හිඟයෙන් පීඩා විඳින මොවුන් අවසානයේ ණයකරුවන් බවට පත් ව ඇත. මේ පීඩනය දරාගත නොහැකිව පොලොන්නරුවේ ගොවි මහතා සිය දිවියෙන් සමුගෙන තිබේ. නූතන ගොවි පරපුරේ කඳුළු කතාව මෙයින් ප්‍රකාශ නොවන්නේද? මඩ සෝදාගත් කල රජකමට සුදුසු බව කී ගොවියාට අද හිමිවන්නේ වස බෝතලය ද?
ගොවිකමට යොමුවීම අද සාපයක් බවට පත්ව තිබේද? රට සහලින් ස්වයංපෝෂිත කිරීම සිහිනයක් වී ඇත්තේ ටොන් ලක්ෂ ගණනින් පිටරටින් හාල් ආනයනය කරන නිසාය. නියඟය නිසා වගාවන් පාළු වූ බව ඇත්තකි. රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයට මේ ගොවි දුක නොපෙනේ ද? පොලොන්නරු වැසි ජනාධිපතිතුමා මේ ගොවි ඛේදවාචකය දෙස වහාම අවධානය යොමු කළ යුතු බව අපි අවධාරණයෙන් සටහන් කරමු. පිබිදෙමුq පොලොන්නරු වැඩසටහන යටතේ ඒ ප්‍රදේශය වේගයෙන් දියුණු වෙද්දී අනෙක් පැත්තෙන් ණය ගෙවා ගැනීමට නොහැකිව ගොවියකු සියදිවි නසා ගන්නේ මන්ද?
කෘෂිකර්මාන්ත නවෝදයක් ගැන බලයට පත්වන සෑම රජයක්ම කතා කරයි. විවිධ යෝජනා වැඩසටහන් ගෙනහැර දක්වයි. එහෙත් ගොවියා ණයබරින් පීඩා විඳින්නේ නම් එදා වේල පවා සරිකර ගැනීමට නොහැකි නම් කෘෂි නවෝදය යථාර්ථයක් කළ හැකිද? ගොවිතැන ලාභදායි නොවන්නේ නම් අලුත් පරපුර ගොවිතැනට යොමු වන්නේද. ගොවියා වස බොන තත්ත්වයට පත් වූ විට අලුත් පරපුර නොව
පැරැණි පරපුර හෝ ආරක්ෂා කර ගැනීමට නොහැකි වෙයි. පසුගිය සැප්තැම්බර් මාසයේදී ද සිය ලොකු ලූනු වගාව විනාශ වීම නිසා දිවි තොර කර ගත් ගොවියකු පිළිබඳව දඹුල්ලෙන් අසන්නට ලැබිණි. මේ විපත සිදු වී මාස කිහිපයක් ගතවන විටම තවත් එවැනි සිද්ධියක් උතුරු මැද පළාතෙන් වාර්තා වී ඇත. අපේ ගොවි පරපුර මැරී වැටෙන්නේ ද? වකුගඩු රෝගය රජරට ගොවි ජනතාව මුහුණදෙන බියකරු ව්‍යසනයකි. මේ රෝගී මාරයා ඉතා සැහැසි ලෙස අපේ ගොවි ජීවිත බිලි ගනිමින් සිටී. වකුගඩු රෝගය සමගින්ම නියං රකුසාට මුහුණ දීමට ද ඔවුනට සිදුව ඇත. මේ සියලු විපත් හමුවේ මැරි මැරී ජීවත් වීමට ගොවීන්ට සිදුව නැත්ද? මෙයින් ඔවුන් ගලවා ගැනීමට හැකියාව ඇත්තේ කවරකුටද?
පිටරටින් අඩු මිලට ගෙන එන එළවළු පලතුරු වලින් සුපිරි වෙළෙඳසල් පිරී ගිය ද අපේ ගොවියාට සහනයක් සැලසෙන්නේ නැත. එළවළු ටිකත් පිටරටින් ගෙන එන විට මෙරට කෘෂි ආර්ථිකයම විනාශයට ඇද වැටෙන බව අමුතුවෙන් සටහන් කළ යුතු නැත. මේ විෂම චක්‍රයෙන් ගොවියා ගලවා ගැනීම වහ වහා සිදුකළ යුතුය. ගොවියා අඩපණ වූ විට බිඳ වැටෙන්නේ අපේ ජාතික ආර්ථිකයයි. කෘෂිකර්මාන්තය බිඳ වැටෙන විට අපේ සංස්කෘතිය මෙන්ම අගයන් ද විනාශ වී යනු ඇත. අපේ අනාගතය රැක ගැනීම වෙනුවෙන් ගොවියා ජීවත් කළ යුතුව ඇත.
- Hits: 1297