Divaina - රාජ්‍ය ගිණුම් කාරක සභාවේ යහපත් යෝජනාව

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

divaina.comschoolsඅප රටේ පාසල් පද්ධතියේ දැඩි විෂමතාවයන් පවතී. අප රටේ ජනපි‍්‍රය සහ එසේ නොමැති පාසල් දෙවර්ගයක් තිබීමෙන්ම එය පැහැදිලිය. ජනපි‍්‍රය පාසල්වලට සම්පත්වලින් අඩුවක් නොමැත. මෙම පාසල්වල ගුරු හිඟයක් ද නොමැත. එනිසාම මෙම පාසල්වල විභාග ප‍්‍රතිඵල ද ප‍්‍රශස්ත මට්ටමක පවතී, නමුත් ප‍්‍රශ්නය වන්නේ ජනපි‍්‍රය පාසල්වල මෙන්ම එසේ නොවන පාසල්වල ඉගෙනුම් ලබන්නේ ශී‍්‍ර ලාංකීය දූ පුතුන්ය. රටකට එක නීතියක් පවතින්නා සේම අප රටේ සෑම පාසලකින්ම අපේ දූපුතුන්ට සම අධ්‍යාපනික අයිතිවාසිකම් තිබිය යුතුය. නමුත් එය හුදෙක් මනඃකල්පිතයක් පමණි. මේ පොළොවේ පවතින යථාර්ථය අනුව මෙම පාසල් දෙවර්ගය කෙදිනක හෝ සමකළ හැකි නොවනු ඇත. එහෙත් පවතින රජයට යම් දෙයක් ඒ වෙනුවෙන් කළ හැක. එනම් පවතින පාසල් පද්ධතියේ විෂමතාවය අවම කිරීමට පියවර ගැනීමට පුළුවන. රජයේ ගිණුම් කාරක සභාව ඒ සඳහා රජයට හොඳ යෝජනාවක් ගෙනැවිත් තිබේ. එම කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ සිසුන් අඩු පාසල්වලට යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා මාස හතරක් ඇතුළත සැලැස්මක් සෑදිය යුතු බවයි.
 
 රජයේ ගිණුම් කාරක සභාව පෙන්වා දෙන අයුරින් අප රටේ ශිෂ්‍ය සංඛ්‍යාව  200ට අඩු පාසල් 5161 ක් ඇත. මෙම පාසල්වල ගුණාත්මකභාවය පිළිබඳව ගැටලූ රැසක් මතුව ඇති බවද එම කාරක සභාව පෙන්වා දී ඇත. මෙම පාසල්වල ජල ගැටලූව උග‍්‍රය. වැසිකිළි කැසිකිළි පහසුකම් ද ඇත්තේ නැති තරම්ය. අපි කාලයක් තිස්සේ අඩු පහසුකම් සහිත පාසල්වල දරුවන්ට ඇති මෙම අසාධාරණය පෙන්වා දුන්නෙමු. නමුත් ඊට මේ වනතුරු විසඳුම් ලැබී නොමැත. මෙහි අවසන් ප‍්‍රතිඵලය වනුයේ යමක් කමක් කරගත හැකි දෙමාපියන් කෙසේ හෝ තම දරුවා නගරයේ ජනපි‍්‍රය පාසල්වලට ඇතුළත් කර ගැනීමට පියවර ගැනීමයි. පහේ ශිෂ්‍යත්ව විභාගය තරගකාරී විභාගයක් තරමට පෙරට පැමිණ තිබෙන්නේ එහි ප‍්‍රතිඵලය වශයෙනි.
 
 දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී දෙමාපියන්ට පාසල් සම්බන්ධයෙන් ඇති ආකල්ප වෙනස් වන අයුරින් පාසල් සංවර්ධනය කළ යුතු බව එම කාරක සභාව නිර්දේශ කර ඇත. එය කාලීන යෝජනාවකි. එසේම එය ප‍්‍රායෝගික මට්ටමට ගෙන ඒම අධ්‍යාපන බලධාරීන් සතු වගකීමකි. නගරයේ පාසලේ පවතින පහසුකම් ගමේ පාසලේ ද තිබේ නම් පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමට අනවශ්‍ය තරඟයක් ඇති වන්නේ නැත. එසේ වුවහොත් අම්මලාට තාත්තලාට දරුවන් ඉපදෙන්නටත් පෙර පාසල්වලට ඇතුළත් කර ගැනීමට සැලසුම් සෑදීමේ අවශ්‍යතාවයක් ද පැන නගින්නේ නැත.
 
 පසුගිය රජය කාලයේදී ”ළඟම පාසල හොඳම පාසල” යන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරිණි. මෙය සංකල්පයක් වශයෙන් ඉතාමත් වටිනා අදහසකි. නමුත් කි‍්‍රයාත්මක කිරීමේදී ප‍්‍රායෝගික ගැටලූ මතුවී තිබුණු බවද රජයේ ගිණුම් කාරක සභාව සිය නිර්දේශ ඔස්සේ හෙළිකර ඇත. මෙම ව්‍යාපෘතියට 2016 සිට 2021 දක්වා කාලය සඳහා රුපියල් මිලියන 64930ක් වෙන්කර තිබිණි. 2018 දෙසැම්බර් වන විට එම වෙන් කළ මුදලින් රුපියල් මිලියන 31234.77 ක් වැය කර ඇති බවද සඳහන්ය. එහෙත් රජයේ ගිණුම් කාරක සභාව පෙන්වා දෙනු ලබන්නේ ඇතැම් අවස්ථාවලදී අවශ්‍යතාවයන් නිසි ලෙස වටහා නොගෙන ඒ පිළිබඳව නිසි අධ්‍යයනයක් නොකර පාසල්වලට සම්පත් ලබාදී තිබූ බවයි.
 
 අධ්‍යාපනය වෙනුවෙන් බරක් තැබීම රටකට කළ හැකි හොඳම ආයෝජනයකි. එනිසාම ගිණුම් කාරක සභාව මගින් පෙන්වා දී ඇති නිර්දේශ පමා නොවී කි‍්‍රයාවට නැංවීම අධ්‍යාපන බලධාරීන්ගේ යුතුකමකි. එසේම එවැනි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමේදී නිසි අධීක්‍ෂණයක් යටතේ කළ යුතුය. එසේ නොවුණ හොත් ”ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරද්දී සිදුවූ අඩුපාඩු නැවත සිදුවීමට ඉඩ තිබේ.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles