Divaina - නිරෝගී රටක්‌

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මේ වර්ෂය 2018 උදාවුණේ එම වර්ෂයට අයත් පළමු නිවාඩු දිනය සමඟය. ඒ අනුව හරියටම කීවොත් බොහෝ දෙනෙක්‌ වැඩ පටන් ගන්නේ අදය. රාජ්‍ය ආයතන දීර්ඝ සතිඅන්ත නිවාඩුවකට පසු අද දවසේ වැඩ ආරම්භ කරයි. සමහර පුද්ගලික ආයතනද එසේමය. වැඩට (රැකියාවට) යන එන අයත්, විශ්‍රාම සුවයෙන් කල්ගත කරන අයත්, රස්‌සාවල් හොයන අයත්, රස්‌සාවල් වෙනුවෙන්ම ඉගෙන ගන්නා අයත් ඉගෙන ගෙන රස්‌සාවක්‌ කරන්නට හිතාගෙන ඉන්න අයත් ඇතුළුව සමස්‌ත රටේ ජනතාවම පුරුදු ආකාරයට මේ අවුරුද්දේදිත් රැවටෙන්නට ඇති ඉඩකඩ බොහෝ වැඩි බව පළමුකොට කිව යුතුය. මේ අවුරුද්දේ මුල් කාර්තුව පටන් ගන්නේ ඡන්දයකිනි. ඡන්දයකින් පත් කරගන්නා ජනතා නියෝජිතයා කියන සටකපට මදාවියන් කරන්නේ ජනතාව රැවටීමය. රටේ ජනතාවගේ බරපතළ ප්‍රශ්නවලට මේ කිසිවකුගෙන් පිළිතුරක්‌ නැත. එම ප්‍රශ්නවලට විසඳුම් හොයන්නට නිශ්චිත සැලැස්‌මක්‌ නැත. මේ කියන්නට යන්නේ පසුගිය වර්ෂයේ එවැනි සැලස්‌මක්‌ නැතුව (වසර කීපයක සිටම මේ කියන කාරණා සඳහා නිසි සැලසුම් තිබී නැත) ඉතා නරක අන්දමේ වාර්තා ඉදිරිපත් කර ඇති කාරණා කිහිපයක්‌ ගැනය.
 
 ඉන් පළමුවැන්න ඩෙංගු වසංගතයයි. පසුගිය වසරේ (2017) වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව එක්‌ලක්‌ෂ අසූතුන්දහස්‌ දෙසීය තිස්‌පහක ප්‍රමාණයක්‌ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර තිබේ. එපමණක්‌ නොව ඩෙංගු රෝගය නිසා මියගිය සංඛ්‍යාව 430 ක්‌ බවද කියති.
 
 දෙවැනි කාරණය වන්නේ එච්.අයි.වී. (ඒඩ්ස්‌) රෝගයයි. ඒ අනුව 2017 දී සිදු කරන ලද ලේ පරීක්‍ෂා කිරීම් ලක්‍ෂ 13 කදී එච්.අයි.වී. ආසාදිතයන් 280 ක්‌ සොයාගෙන තිබෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්‌ මර්දන ව්‍යාපෘතිය සඳහන් කරයි. එම ප්‍රමාණයෙන් 23 දෙනකු ගැබිනි මව්වරුන්ය. ඉන් 16 දෙනකු මේ වන විට දරුවන් බිහිකර ඇති බවද එම වාර්තාවල සඳහන් වේ. එමෙන්ම 2017 වර්ෂයේ දී එච්.අයි.වී. ආසාදිතයන් 32 ක්‌ මරණයට පත්ව තිබේ.
 
 ඉහත සඳහන් කරන ලද වාර්තා මෙරට ජනතාවගේ සතුටට හේතුවන කරුණු කාරණා නොව රටක්‌ ජාතියක්‌ ලෙස අප සිටින තැන ගැන කම්පා විය යුතු කාරණාය. ඩෙංගු යනුවෙන් රෝගයක්‌ ඇති බව මේ රටේ කවුරු කවුරුත් දැනගත්දා පටන්වත්, එච්.අයි.වී. ආසාදිත පළමුවැන්නා මේ රටෙන් සොයා ගන්නා විටත්, එමගින් ඇති විය හැකි භයානක ප්‍රතිඵල පිළිබඳව හරි හැටි අවබෝධ කරගත් වගකිව යුතු දේශපාලනඥයෙක්‌ ගැන අපට මතක නැත. ඒවා ව්‍යාප්තව ගොස්‌ රට බරපතළ ලෙස අනතුරුදායක තත්ත්වයකට පත්වන විට සැලසුම් සකස්‌ කර ඊට මුහුණදිය හැකි අන්දමේ යහපත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ දේශපාලනඥයකු ගැන අප අසා නැත.
 
 සැලසුම් සහ ව්‍යාපෘති යෑයි කියන බොහෝ දේ ගෙන ආවද ඒ කිසිවකින් වැඩක්‌ වී නැති බව ඉහත සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
 
 ඩෙංගු සහ ඒඩ්ස්‌ රෝග ශ්‍රී ලංකා ජන සමාජයේ දෛනික ජන ජීවිතය අර්බුදයක්‌ කරා ගෙන ගොස්‌ අවසන්ය. මෙම සෞඛ්‍ය අර්බුද විසඳීම සඳහා පිළිගත් යාන්ත්‍රණ තිබියදී අපි තවමත් අඳුරේ අතපත ගාමින් සිටින්නෙමු. දිනපතා රටේ ඩෙංගු සහ ඒඩ්ස්‌ රෝගීන් ඉහළ යැමෙන් පෙන්නුම් කරන්නේ මෙම රෝග පාලනය කිරීමට ඇති යාන්ත්‍රණයේ බරපතළ අර්බුද පවතින බවය. එම නිසා එම අර්බුද වහා හඳුනාගෙන නව සැලසුම් සකස්‌ කිරීමට සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමුකළ යුතුය. අලුත් අවුරුද්දේ අලුත් සංකල්ප තුළින් රට නිරෝගී කිරීම ආණ්‌ඩුවට භාරය.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles