Divaina - ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ රහස් පණිවුඩය

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ ඕ මහතා අද මෙරටට පැමිණීමට නියමිතය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් එරට රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධුරයෙන් නෙරපනු ලැබීමෙන් පසුව එම තනතුරට මයික් පොම්පෙ ඕ පත්වූ අතර ඔහු එම පදවියට පෙර ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ(සී. අයි. ඒ.) අධ්‍යක්ෂවරයා විය. එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳව හිටපු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සහ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතර විවිධ මතභේද තිබූ බව ප‍්‍රකට කරුණකි. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ”මෝඩ පුද්ගලයකු” බව හිටපු රාජ්‍ය ලේකම්වරයා මීට ඉහතදී ඔහුගේ මුහුණට පැවසූ බව වාර්තා විය. නමුත් මයික් පොම්පෙ ඕ මහතා හා ජනපති ට‍්‍රම්ප් අතර එවන් ගැටුමක් නැත. එම නිසාම ඔහුගේ තනතුර සුරක්ෂිතය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට පැමිණීමට දින කිහිපයකට පෙර සිටම හමුදා සෙබළු මෙන්ම බුද්ධි නිලධාරීන් ග්ලෝබ් මාස්ටර් - 3 දරන දැවැන්ත යානයකින් කටුනායකට ගොඩබැස තිබිණි. මේ පිරිස පී. සී. ආර්. පරීක්ෂාවට ලක්කළාද නැද්ද යන්න අපට පැහැදිලි නැත. කවරක් නමුත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ලංකා ගමන පිළිබඳව චීනය ඉතා උනන්දුවෙන් සිටින බව පැහැදිලිය. චීන මාධ්‍ය පසුගිය කාලයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා දැඩිව විවේචනය කරනු ලැබුවේ කොරෝනා වෛරසය ‘වූහාන්‘ නගරයේ

විද්‍යාගාරයකින් නිකුත් වූ බවට තමාට ”සාක්ෂි තොගයක්” ඇති බව ප‍්‍රකාශ කරනු ලැබීමෙන් පසුවය. මේ නිසාම චීනයේ ‘ග්ලෝබල් ටයිම්ස්‘ පුවත්පත කියා සිටියේ, රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ ඕ ”පිරිහුණ” තත්ත්වයක සිටින බවය. එමෙන්ම ඇමෙරිකානු නායකයා ”අතාර්කික සහ අනුචිත න්‍යායන් ඉදිරිපත් කරමින් කරුණු විකෘති කරන” බව එහි වැඩිදුරටත් සඳහන්ව තිබිණි. චීනය සමග ආරෝවක සිටින මයික් පොම්පෙ ඕ ලංකාවට පැමිණ මෙරට නායකයන්ට කියන්නේ කුමක්ද? ඔහු පැමිණෙන්නේ දිල්ලි ආණ්ඩුව සමග පූර්ණ සාකච්ඡුා පැවැත්වීමෙන් පසුවය. දිල්ලිය මෙන්ම වොෂින්ටනයද ලංකා ආණ්ඩුවේ චීන හිතවත්කම ගැන අසතුටෙන් පසුවන බව ප‍්‍රකට රහසකි. ලංකාවේ චීන වරාය නගරය ඉදි කිරීම ගැන ඉන්දියාව මෙන්ම ඇමෙරිකාවද අකමැතිය. ජනපතිගේ බලතල වැඩි කරන 20 වැනි සංශෝධනය සම්මත කර ගත්තාට පසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැමිණ පවසන රහස මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම වහා අත්සන් කළ යුතු බවද? දේශපාලන තර්ජනත්, බ්ලැක් මේල් කිරීමත් ඉතා තදින් ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය තුළ ඇති බව දනිමු. ඇමරිකානු ජනාධිපතිවරණයට සතියකට වඩා අඩු කාලයක් තිබියදී ඇමරිකානු යුද සහ දේශපාලන පණිවුඩ ගෙනියන ප‍්‍රධානියා මේ ලක් දූපතේ බලධාරීන්ට පවසන්නේ මේ කල් දමා ඇති ගිවිසුම් ගැන බව පැහැදිලිය. කවර ගිවිසුම් ගැන සාකච්ඡුා වුවද ඒ කිසිවකින් රටේ ස්වාධිපත්‍යට හානියක් විය යුතු නැත. එසේම ඇමරිකානු හමුදාවේ ආරක්ෂාව ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නැත. ඒ වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළ යුතුද නැත. ඇමෙරිකානු හමුදාව සමග පුහුණුවීම් හා බුද්ධි තොරතුරු හුවමාරුව කවදත් සිදුවිය. නමුත් මෙරට භූමිය විදේශ හමුදා කඳවුරු සඳහා කිසිවිටකත් ලබා දිය යුතු නැත. ඇත්තෙන්ම ශ‍්‍රී ලංකාව ගැන ඇමෙරිකාව විශේෂ අවධානයක් යොමු කිරීමට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ භූ දේශපාලනික වශයෙන් ශ‍්‍රී ලංකාවේ ඇති වැදගත්කමය. චීන ව්‍යාප්තියට එරෙහිව ඇමෙරිකානු ආණ්ඩුවට ලංකා භූමිය විශේෂ වේ. එනිසාම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වැදගත් පණිවුඩ ගෙන එයි. මේ සියල්ල රටට හිතවත් ආකාරයට කළමනාකරණය කර ගැනීම වත්මන් ආණ්ඩුව සතු වගකීමකි. තනි මතයට කටයුතු කර ලෝක බලවතුන් අමනාප කරගෙන ලෝකයෙන් කොන්වී හුදකලා වීමටද අපට නොහැකිය.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles