Divaina - බඩ ගැන කතාවක් (සල්ලි තමයි ඕනෙ..)

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

රටේ දැවෙන ප‍්‍රශ්න අමතක කරමින් අවධානය දිනා සිටි 19 හා 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වගන්ති පිළිබඳ ප‍්‍රතිඵල නිකුත් වී ඇති බැවින් දැන්වත් පෙර කී දැවෙන ප‍්‍රශ්න පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි ජනතාව කල්පනා කරති.
 
 එනම්, මේ වන විට සමාජය සැලකිය යුතු මට්ටමින් කොරෝනා අර්බුදයේ ගිලී ඇත. මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2800 මට්ටමට පැමිණ ඇත. මේ යන විදියට විටෙක එය 3000 සීමාවද පසුකරනු ඇත.
 
 එසේම, දිවයිනේ නන් දෙසින් ආසාදිතයන් වාර්තා වෙමින් පවතී. ගම්පහ දිස්ත‍්‍රික්කයම කොරෝනා ඇඳිරියේ පසුවේ. කොළඹ හා කළුතර (මතුගම) දිස්ත‍්‍රික්කවලද පොලිස් වසම්  රැසක නිරෝධායන ඇඳිරිය ක‍්‍රියාත්මකය.
 
 මාළු කඬේ (කොළඹ මත්ස්‍ය වෙළෙඳපොළ) මෙන්ම, මැනින් එළවළු වෙළෙඳපොළ ද වසා ඇත. මාළු කඩෙන් මාළු ගෙනගිය ප‍්‍රදේශ රැුසක් නිරෝධායනයට ලක් කර ඇත. ඒ සමග සබඳතා පැවැත් වූ දුර බැහැර ප‍්‍රදේශවල ජනයා පවා කොරෝනා භීතියෙන් මුසපත් වී ඇත. සැබැවින්ම කොහේ ගියත් ජනතාව කතා කරන්නේ 19 ගැන, 20 ගැන නොව කොරෝනා ගැනමය. එබැවින් කොරෝනා පිළිබඳව ජනතාවට දැවෙන ප‍්‍රශ්නයක් තිබේ.
 
 ඒ පිටුපසින් එන ඊළඟ දැවෙන ප‍්‍රශ්නය ජීවත්වීමේ ගැටලූවයි. යන්තම් එදිනෙදා වියදම සරි කරගත් අයට දැන් ඉතින් දෙයියන්ගේම පිහිටය. ඔවුන්ට ආණ්ඩුවෙන් යම් දීමනාවක් අත්‍යවශ්‍යමය. රජයෙන් දීමට තීන්දු කර ඇති නිරෝධායන පවුල්වලට දෙන රුපියල් 5000 ක දීමනාව වහ වහා එම ජනයාට ලැබිය යුතුව ඇත.
 
 එසේම, ඇඳිරි නීතියෙන් බැටකන තවත් විශාල ජනතාවක්ද එම ප‍්‍රදේශවල දිවිගෙවන බව අප අමතක නොකළ යුතුය. එක අතකින් නිරෝධායන ඇඳිරියට ගරු කරමින් එවන් ජනතාව මෙම බියකරු වසංගතයට තමන්, තම පවුලේ අයවලූන්, අසල්වැසියන් ගොදුරු නොකිරීමේ වගකීම ඉටුකළ යුතු අතර, අනෙක් අතින් ආණ්ඩුව මේ ජනතාවගේ ජීවන බරට සහනයක් ලබා දිය යුතුය.
 
මෙම ජීවන සහනය ලැබිය යුත්තේ ඇඳිරියට ගොදුරු වූ අයවලූන් පමණක් නොවේ. මේ වනවිට කොළඹ නගරය ඇතුළු දිවයිනේ බොහෝ නගර ජන ශුන්‍ය වෙමින් පවතී. වෙනදා රැකියා ස්ථානයට ගොස් හවසට, සතියට, මාසයට කීයක් හෝ උපයාගෙන පැමිණි අයට දැන් හත වැදෙන්නට පටන්ගෙන තිබේ.
 
 දරුවා හඬන විට කිරි පැකට්ටුව මිලදී ගත යුතුව ඇත. දරු මල්ලන්ට අවශ්‍ය හාල්, පොල්, එළවළු, මාළු අඩුම කුඩුම නැතිවම බැරිය. කොරෝනා.... කොරෝනා... කීවාට බඩ ගෙඩි අසන්නේ නැත. එනිසා ජීවත්වීමේ අරගලයට වහා සහන පැකේජයක් දැන් රටට අවශ්‍යය. අඩුම තරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත දැමිය යුතුමය. හාල්, පොල්, එළවළු මිල කොතරම් ඉහළ දැයි බලධාරීන් පාරට බැස බැලිය යුතුය.
 
 බඩු මිල පාලනය කර, ජනතාවට ඕනෑ තරම් බඩු ඇතැයි බලධාරීන් වහසි බස් දෙඩුවද, පසුගිය අඟහරුවාදා වනවිට කුරුණෑගල සතොසේ එකම ලොකු ලූනු ගෙඩියක්වත් සීනි කඳුලක්වත් මිලට ගන්නට තිබුණේ නැත.
 
 ලොකු ලූනු කලින්ම පිට රටින් මෙරටට ගෙන්වා අනතුරුව ලූනු හිඟයට පිළියමක් ලෙස රටින් ගෙන්වනවා යැයි වෙළෙඳ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළ බව අපගේ විශ්වාසයයි. නැති නම් මේ තරම් ඉක්මනට ලූනු තොග ශ‍්‍රී ලංකාවට එන්නට හැකියාවක් නැත. දේශීය ගොවියාගේ ලොකු ලූනුවලට අසාධාරණයක් සිදුකරමින් අද සුපර් මාර්කට් තුළ ගොඩගසා ඇත්තේ තුර්කියෙන්, පකිස්තානයෙන් ගෙන්වූ දැක්කත් අප‍්‍රසන්න ලූනු ගෙඩිය.
 
 පිටකොටුවේ රවුමක් ගසා ලූනු වෙළෙඳාමේ ඇත්ත තත්ත්වය බලන්නට එන ලෙස අපි රජයේ බලධාරීන්ට යෝජනා කරන්නට කැමතිය. රුපියල් 90 ට තොග දෙන ආනයනික ලොකු ලූනු මිනිස් පරිභෝජනයට සුදුසු දැයි බලන ලෙස අපි එම බලධාරීන්ට තවත් එක යෝජනාවක් කරන්නට කැමතිය. කළින්ම ගෙනවිත් කුණුවූ ලොකු ලූනු කරත්තවල පටවාගෙන ගොස් පොතුහැර පොළවල් ගානේ ජනතාවට විකුණන අයුරු සුලභ දසුනකි.
 
 සැබවින්ම, අද ජීවන වියදම දැඩි අර්බුදයකි. අඩුවට දෙනවා යයි කී කිසිවක් ඔය කියන ගානට ගන්නට නැත. අඩුම තරමේ පොල් සම්බලයක් ගසා බත් ටිකක් කන්නටත් මාර ගේමක් දෙන්නට සිදුව ඇත. කොරෝනා අර්බුදය ඉහ වහා ගියහොත් මේ තත්ත්වය තවත් දරුණුවනු ඇත.
 
 එබැවින් වහාම ජනතා අවශ්‍යතා හඳුනාගෙන ඊට පිළියම් යෙදීමට දැන්වත් කාලය වැඩිපුර යොදන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු. වැඩ කරන ජනතාව ගෙදර ගොස් ඇති බැවින් රජයට උදාවී ඇති දුෂ්කරතාව ගැන ද අපි ඉතා හොඳින් දන්නෙමු. නමුත් කොරෝනා කීවාට බඩ ඉවසන්නේ නැත.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles