Divaina - සර්ප දෂ්ටනය (වහලා දම්වැල් වලට ආදරෙයි - ගාමන්ට්කාරයා අඩු පඩියට ආදරෙයි)

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 
 සුනාමිය නිසා වෙරළ ආශ‍්‍රිත අනවසර අනාරක්ෂිත නිවාස සහ ඒවායේ තිබෙන අවදානම ගැන කතා කිරීමට අපට අවස්ථාව ලැබිණ. ඩෙංගු පැතිරයෑම නිසා නාගරික කුණු කාණු ගැනත්, ගෘහාශ‍්‍රිත වතුර වළවල් ගැනත් මුඩුක්කු හරහා ගලායන මළ මුත‍්‍ර ගංගා ගැනත් කතා කිරීමට අපට අවස්ථාව ලැබිණ. යහපාලන ආණ්ඩු කාලයේදී මේ රටේ ජනයා කළේ මහින්ද රාජපක්ෂ රෙජීමයේ වැරදි හා අඩුපාඩු ගැන කතා කිරීමත් ඒවා ගැන පුදුමවීමත් රාජපක්ෂවරුන් බලයට පත් කිරීම සඳහා කවරකු විසින් ඡුන්දය දෙන ලද්දේද යන්න විපරම් කිරීමත්ය. (ඔවුන් බලයට පත් කළෝ එකී ඡුන්ද දායකයෝමය) යහපාලනය පෙරළී රාජපක්ෂවරුන් යළි බලයට පැමිණ සිටින මෙසමයෙහි අපේ ජනයා කල්පනා කරන්නේත් විපරම් කරන්නේත් යහපාලනය බලයට ගෙන එනු පිණිස ඡුන්දය දුන්නෝ කවරහුද යන්න ගැනය. මේ වූකලී කිසියම් සිද්ධියකට පසු එය නිමිති කරගෙන හට ගන්නා පශ්චාත් සිතුවිලිය. ආණ්ඩු බලයට පත්කිරීම සඳහා ඡුන්දය දුන් අය ගැන ඊළඟ ආණ්ඩුව සහ එයට ඡුන්දය දුන් ජනයා පිළිබඳ සිතමින් කල්ගත කරන්නේ නම් අප එම සිතුවිලි දකින්නේ පශ්චාත් සිතුවිලි ලෙස නොව පශ්චාත්භාගයේ සිතුවිලි ලෙසය. කෙසේ වුවද බ‍්‍රැන්ඩික්ස් ගාමන්ට් ෆැක්ටරිය හරහා නවතම කොරෝනා රැුල්ල රට හරහා පැතිරයෑමෙන් පසු කොරෝනා පැත්තක තබා මේ රටේ ඇඟලූම් සේවිකාවගේ ශෝකී ජීවිත ගැන කතා කිරීමට අපට අවස්ථාව ලැබී තිබේ. කල්ගත වන විට වහලා තමන් බැඳී සිටින යදම්වලට පේ‍්‍රම කරන්නට පටන් ගනිතැයි කියනු ලැබේ. ශ‍්‍රී ලංකාවේදී වහලා පමණක් නොව වහල් හිමියා ද දම්වැල්වලට ආදරය කරන බව පෙනේ. මෙහිදී අප වහල් හිමියා ලෙස හඳුන්වනු ලබන්නේ 1977 න් පසු බලයට පත්වූ සියලූ ආණ්ඩුය. මේ රටේ ඇඟලූම් සේවිකාවන්ගේ වහල් ජීවිත වහල් භාවයෙහිම තබා ගැනීමට ඒ හැම ආණ්ඩුවක්ම දායක වූ බව මහත් වගකීමෙන් යුතුව කියමු. ඒ කෙසේද යත්,
 
 ලංකාවේ අඩුම වැටුප් ලබන ශ‍්‍රම බළකාය සිටින්නේ ඇඟලූම් ක්ෂේත‍්‍රයේ විය යුතුය. මේ ක්ෂේත‍්‍රයේ පහළම ස්ථරය වන ආධුනික සේවිකාවකගේ ආණ්ඩුවේ අනුමත මාසික වැටුප රුපියල් හත්දහස් පන්සියයකි. එසේම ඇඳුම් පැක් කරන්නන්, එසේ පැක් කිරීම සඳහා කාඞ්බෝඞ් පෙට්ටි සාදන්නන් සහ ගබඩා කම්කරුවන්ගේ ආරම්භක වැටුප රුපියල් දොළොස්දහසකි. ඊළඟට ඇඳුම් මදින්නන්, මහන යන්ත‍්‍ර ක‍්‍රියාකරවන්නියන්, එම්බ්‍රොයිඩර් යන්ත‍්‍ර ක‍්‍රියාකරවන්නියන් යනාදීන්ගේ ආරම්භක වැටුප රුපියල් දොළොස්දහස් හයසියයකි. කටර් කෙනකු බඳවා ගන්නේ රුපියල් දොළොස්දහස් හත්සියයක මාසික වැටුපකටය. මේ වැටුප රුපියල් දහතුන්දහස් තුන්සියය දක්වා වැඩිවන්නේ අවුරුදු පහකට පසුවය. අංශ අධීක්ෂක තනතුරට බැඳෙන විට රුපියල් දහහතර දහස් එකසියයක පඩියක් ලැබේ. පස් අවුරුද්දක් කට්ට කෑමෙන් පසු මේ පඩිය රුපියල් දහහතර දහස් අටසීයක් වනු ලැබේ. මෝස්තරකරුවකුගේ ආරම්භක වැටුප රුපියල් දාහතරදහස් හයසියපනහකි. පළමු අවුරුද්දේදී එම වැටුප රුපියල් දෙසීයකින් ඉහළ යයි. පස්වැනි අවුරුද්ද වනවිට එම වැටුප රුපියල් පහළොස්දහස් හාරසිය පනහ දක්වා වර්ධනය වේ. මේ අය ඕවර් ටයිම් කරන විට පැයකට, පැයක වැටුප මෙන් එකහමාරක් ගෙවනු ලැබේ. ශ‍්‍රී ලංකාවේ කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහදාහක් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. එහෙත් බොහෝ ගාමන්ට්කාරයන් ආධුනිකයන්ට ගෙවන හත්දහස් පන්සියයේ පඩිය අදටත් වැඩි කර නැත.
 
 මේ වනවිට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම අපනයන ආදායම ගෙනදෙන්නේ තවදුරටත් තේ, පොල්, රබර් සහ මැණික් නොවේ. තේ පොල් රබර් ආදායම ගෝලීය ආර්ථිකය විසින් කා දමන ලදී. මැණික් ආදායම ගෙවුඩ බිස්නස් සඳහා පැමිණි තායිකාරයන් විසින් කා දමන ලදී. එබැවින් මෙරට ප‍්‍රමුඛතම අපනයන ආදායම එන්නේ ඇඟලූම් කර්මාන්තයෙනි. ශ‍්‍රී ලංකාව තුළ ගාමන්ට් ෆැක්ටරි අටසිය පනහක් තිබේ. මේවායේ සිටින සමස්ත සේවක ප‍්‍රමාණය තුන්ලක්ෂ පනස්දහසකි. දැනට කොරෝනා රෝගය සැරිසරන නිදහස් වෙළෙඳ කලාප භූමිය තුළ සිටින ඇඟලූම් සේවක ප‍්‍රජාව තිස්පන් දහසකි. ඇඟලූම් කර්මාන්තය සම්බන්ධයෙන් ලොකු සීන් දැමීමට ආණ්ඩුවට නොහැක. මන්ද යත් සිය ඇඟලූම් කම්හල් වසා දමා බංග්ලාදේශය, වියට්නාමය වැනි වඩාත් අඩු ඇඟලූම් කර්මාන්ත තිබෙන රටවලට යෑමට ගාම්න්ට්කාරයන් සූදානම්ය. ඔවුන් එසේ ලංකාව අත්හැර ගිය අවස්ථා ද බොහෝ තිබේ. එවැනි අවස්ථාවකදී එම ගාමන්ට්කාරයන් පලවා හැර ඔවුන්ගේ ගාමන්ට් අත්පත් කරගෙන පවත්වාගෙන යෑමේ හයිය ආණ්ඩුවට තිබිය යුතුය. එහෙත් ආණ්ඩුවට එවැනි හයියක් නැත. එය ආණ්ඩුවේ වරද නොවේ. හැම රටකම තත්ත්වය මෙයයි. හැම රටකම බිස්නස් කරන්නේ ආණ්ඩුව නොව පෞද්ගලික අංශයයි. මේ රටේ ආණ්ඩු බිස්නස් කිරීමට ගිය අවස්ථා බොහොමයකදී එම බිස්නස් අර්තාපල් බවට පත්විය. කිසිදු අල ගෙඩියක් වැඩි කලක් තබා ගැනීමට බැරිය. වැඩිකල් තබන්නට උත්සාහ කරන ඕනෑම අල ගෙඩියක පණුවන් මතුවීම නොහිතූ නොපැතූ තැන් වලින් සිදු වේ.
 
 කිසියම් කෙනකුට රුපියල් දෙදහස් පන්සියයකින් මාසයක් ජීවත් විය හැකි බව දෙදහස් පහළොවට පෙර බන්දුල ගුණවර්ධන කීවේය. ඔහු එදා එසේ ගණනය කර තිබුණේ කා බී ඇඳුම් පැළඳුම් පරිහරණය කර ගෙවන ජීවිතයක වියදම නොව හුස්ම ගැනීමේ වියදම පමණි. ගුණවර්ධන තියරියට අනුව ජීවත් විය හැකි නම් ඇඟලූම් ක්ෂේත‍්‍රයේ පහළම ශ්‍රේණියේ සිටින හත්දහස් පන්සියයේ පඩිකාරයාට මසකට පන්දහසක් ඉතිරි කරගැනීමට පුළුවන. එහෙත් සියලූ න්‍යායන් අතර ක‍්‍රියාත්මක කළ හැකි න්‍යායන් ඇත්තේ ස්වල්පයකි. ඇඟලූම් කර්මාන්තයේ ප‍්‍රශ්නය වහා නොවිසඳුවහොත් ඉහත කී සියලූ න්‍යායන් නාගයන් බවට පත්ව මතුයම් දවසකදී ආණ්ඩුවට දෂ්ට කරනවා ඇත.

 
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles