Divaina - මාරාන්තික ගොඩනැඟිලි ‘ඞීල්’

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 පසුගියදා මහනුවර බූවැලිකඩ ප‍්‍රදේශයේදී කඩා වැටුණු පස් මහල් ගොඩනැඟිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මගින් සිදු කළ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ. මෙම පරීක්ෂණ වාර්තාව මේ වනවිට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා වෙත භාරදී ඇති අතර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ගොඩනැඟිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යනු ලබයි. මෙම ගොඩනැඟිල්ල අසල තිබූ හෝටලයක් මතට කඩා වැටීමෙන් එහි නවාතැන් ගෙන සිටි මාස එකහමාරක සිඟිති දියණියක සහ ඇයගේ දෙමාපියෝ ද ජීවිතක්ෂයට පත් වූහ.
 
 ශී‍්‍ර ලංකාවේ ජනගහනයට සාපේක්ෂව ගොඩනැඟිලි ප‍්‍රතිශතය පවතින්නේ 5% කටත් වඩා අඩු මට්ටමේය. එම නිසා ආසියාවේ විශාල ජනගහනයක් සහිත රටවල් වන ඉන්දියාව, බංගලාදේශය වැනි රටවල නිතර ගොඩනැඟිලි කඩා වැටීමේ සිද්ධීන් අප රටෙන් වාර්තා වන්නේ නැත. නමුත් රටේ තිබෙන ගොඩනැඟිලිවලින් කිහිපයක් පසුගිය කෙටි කාලයක් ඇතුළත බිමට සමතලා වූ බව අපට අමතක නැත. මීට වසර තුනකට පමණ පෙර වැල්ලවත්ත නගරයේ පස් මහල් ගොඩනැඟිල්ලක් බිමට සමතලා විය. එය නවතම ගොඩනැඟිල්ලකි. අවසානයේ සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වූයේ එම ගොඩනැඟිල්ල ඉදිකර තිබුණේ ඇළ රක්ෂිතයේ බවය. මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක දැක්වූයේ මෙලෙස කොළඹ නගරයේ ඇළ රක්ෂිතයේ ඉදිකළ ගොඩනැඟිලි දහසක් පමණ තිබෙන බවය. ඒ වගේම අනවසර ගොඩනැඟිලි දසදහසක් පමණ කොළඹ නගරයේ තිබෙන බවය. භූමිය මත ගොඩනැඟිලි ඉදිකිරීමේ කි‍්‍රයාවලිය නියාමනය කිරීම සඳහා පළාත් පාලන ආයතන, මධ්‍යම පරිසර අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සහ ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන පිහිටුවා තිබියදී මෙලෙස අනවසර ගොඩනැඟිලි ඉදි වන්නේ කෙසේද?
 
 දැනට පවතින නීතිය යටතේ වර්ග අඩි හාරදහසට වඩා වැඩි ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාගත යුත්තේ නාගරික සංවර්ධන අධිකාරියෙනි. එම වර්ග අඩි ප‍්‍රමාණයට අඩු ගොඩනැඟිලි ඉදිකිරීමේ අනුමැතිය ලබාදීම සිදු කරනුයේ පළාත් පාලන ආයතන මගිනි. මෙම ගොඩනැඟිලි ඉදිකිරීම් ඇරඹීම සඳහා අදාළ ආයතන මගින් සංවර්ධන බලපත‍්‍ර ලබාදීම සිදු කරනු ලබයි. සංවර්ධන බලපත‍්‍රය සඳහා වලංගු කාලය වසරක් වන අතර ඉදිකරනු ලබන ගොඩනැඟිලිවලින් 90% ක් පමණ එම කාලය තුළ අවසන් කිරීමට ලැබෙන්නේ නැත. එසේ නියමිත කාලය තුළ වැඩ අවසන් කළ නොහැකි වුවහොත් කළ යුත්තේ ඉදිකිරීම් සංවර්ධන බලපත‍්‍රය අදාළ ආයතන මගින් යාවත්කාලීන කර ගැනීමය. නමුත් ඉදිකිරීම්කරුවන්ගෙන් බහුතරයක් ඔවුන්ගේ සංවර්ධන බලපත‍්‍රය යාවත්කාලීන කර ගන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ගොඩනැඟිල්ලේ මූලික සැලැස්මට පිටින් වැඩිපුර කොටස් හෝ මහල් එකතු කිරීමය. ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ මූලික අරමුණ වාණිජ වටිනාකමක් ලබා ගැනීම නිසාත් එම වාණිජ වටිනාකම රඳා පවතින්නේ ගොඩනැඟිල්ලේ වර්ග අඩි ප‍්‍රමාණය නිසාත් මූලික සැලැස්මට අමතරව මහල් එකතු කිරීමට ඉදිකිරීම්කරුවන් පසුබට වන්නේ නැත. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ පළාත් පාලන ආයතනයේ හෝ නාගරික සංවර්ධන අධිකාරියේ හෝ ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ මූලික රෙගුලාසිවලට අනුකූල නොවන ලෙස ඉදිකළ අනවසර ගොඩනැඟිලි බිහි වීමය.
 
 මෙම අර්බුදයේ භයානකම කොටස ඇරඹෙන්නේ මෙතැන් සිටය. සෑම ගොඩනැඟිල්ලකම ඉදිකිරීම් අවසන් වූ පසු අදාළ ආයතනයෙන් අනුකූලතා සහතිකය (Certificate of Conformity) ලබාගත යුතුය. මෙම 'COC' සහතිකය නිකුත් කරනු ලබන්නේ අදාළ රාජ්‍ය ආයතනයේ වරලත් වාස්තු විද්‍යාඥයන්, ඉංජිනේරුවරුන් හා අනෙකුත් වෘත්තිකයන්ගෙන් සෑදි කමිටුවක් මගිනි. මෙම කමිටුව මගින් කළ යුත්තේ අදාළ ඉදිකිරීම් රෙගුලාසිවලට අනුකූල නොවන ලෙස ඉදිකළ ගොඩනැඟිලි සඳහා 'COC' ලබා නොදීමය. නමුත් අතයට ගනුදෙනු මගින් ඉතා පහසුවෙන් මෙම 'COC' එක ලබා ගැනීමට හැකි වීම නිසා ගොඩනැඟිල්ලක ප‍්‍රමිතිය සහතික කරන වටිනාම සහතිකය මිනිසුන් පණපිටින් පරලොව යවන මාරකයක් බවට පත් වී තිබේ.
 
 භූමිකම්පාවක් හෝ වෙනත් ස්වභාවික ආපදාවක් නොමැතිව කඩා වැටෙන සෑම ගොඩනැඟිල්ලක් පිටුපසම දූෂිත ඉදිකිරීම් කි‍්‍රයාවලියක් සේම එම ඉදිකිරීම් අනුමත කිරීමේ ක‍්‍රමවේදයක් ද කි‍්‍රයාත්මක වෙමින් තිබේ. මෙම දූෂිත ගනුදෙනු අනාවරණය වීමට නම් මෙම අනවසර ගොඩනැඟිල්ල ජනතාවගේ හිස මත පතිත වී මාරාන්තික ව්‍යසනයක් සිදුවිය යුතුය. නමුත් ඛේදවාචකය වන්නේ එවැනි මාරාන්තික ව්‍යසනවලින් පසුව ද මේ දූෂිත කි‍්‍රයාවලිය කිසිදු උපද්‍රවයක් නොමැතිව දිගටම කි‍්‍රයාත්මක වීමය. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වගකිවයුතු ආයතන ව්‍යාපාරික මාෆියාව සමග ‘ඞීල්’ දමන විට ජනතාවට ඉතිරි වන්නේ දෙවියන්ගේ පිහිට පමණි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles