Divaina - රස වෑහෙන පැණි බේරෙන මුතු රාජවෙල ඉඩම් - (කොල්ලකෑමට අපූරුයි - ඇස් වසා කට්ටි කිරීමට කදිමයි )

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 බස්නාහිර පළාතේ විශාලතම පාරිසරික තෙත් බිම වන මුතුරාජවෙල ගොඩ කර විකුණමින් පවතින බව අපි ඊයේ (ඉරිදා දිවයින) කතු වැකිය ඔස්සේ සාකච්ඡා කළෙමු. 1996 දී අභය භූමියක් ලෙස නම් කරන ලද මුතුරාජවෙල භූමිය තුළ පෞද්ගලික කුඹුරු ඉඩම් රාශියක් තිබුණද ඒවා ගොඩ කර කට්ටි කර විකිණීම සම්පූර්ණයෙන්ම තහනම්ය. එහෙත් ස්වකීය ඉඩම් සම්බන්ධයෙන් කුඹුරු ඉඩම් හිමියාට එකම එක අයිතිවාසිකමක් තිබේ. ඒ වූ කලී එකී කුඹුර යළි අස්වැද්දීමට තිබෙන අයිතිවාසිකමය. ඒ අයිතිවාසිකම ක‍්‍රියාත්මක කිරීමට නොහැක්කේ අදාළ ඉඩම් අස්වැද්දීම සඳහා ජල පහසුවක් නැති හෙයිනි. එයට හේතුව අවුරුදු දෙසීයකට පෙර අත්හැර දමන ලද මුතුරාජවෙලට වගා ජලය සැපයීමේ වැඩපිළිවෙළක් නැති හෙයිනි. මේ නිසා යම් හෙයකින් කුඹුරක් අස්වැද්දීමට අවශ්‍ය නම් එහි ලියැදි වල වතුර බැඳීමේ සිට ඉදිරියට ඇති සියලූ කටයුතු සඳහා බවුසර් වලින් වතුර ගෙනවුත් කුඹුරට පොම්ප කිරීමට සිදු වේ. එවිට එම කුඹුරේ වී කිලෝවක් රුපියල් එක්දහස් පන්සියයකට ටිකක් වැඩි මුදලකට නිෂ්පාදනය කරගත හැකිය. එක්දහස් පන්සියයකට වී කිලෝවක් ගෙන කොටන හාල්, කෑම දෙයියන්ගේ හාල් කෑම වැනි පිස්සුම පිස්සු වැඩකි. එනිසා කිසියම් කෙනෙක් හෝ පිරිසක් අස්වැද්දීමට යැයි කියමින් ඩෙනිම් වලට උඩින් අමුඩ ගසාගෙන උදලූ කරේ තබාගෙන මුතුරාජවෙල කුඹුරු වලට බසිනව නම් පලවා හැරිය යුතුමය. ඔවුන් ඒ කරන්නට උත්සාහ කරන්නේ නීති විරෝධී ලෙස කුඹුර ගොඩකර විකිණීමටය. එබැවින් කුඹුරකට යළි බසින්නට බැරිවන තරමේ දඬුවම් ඔවුන්ට දිය යුතුය.
 
 ශ‍්‍රී ලංකාවේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට සුවිශේෂ ක‍්‍රමවේදයක් තිබේ. සුවිශේෂ යැයි කිව්වාට මෙය හරිම සරලය. මූලික වශයෙන් මේ සඳහා අවශ්‍ය වන්නේ කළු පාට ප්ලාස්ටික් රෙදි යාර කිහිපයක් සහ උණ බම්බු කිහිපයක් පමණි. මුලින්ම කරන්නේ කුඹුරු ඉඩමේ පාරට පෙනෙන කොටස දිගේ උණ බම්බු සිටුවා කළු පැහැති ප්ලාස්ටික් රෙදි ඒ මතින් සවි කිරීමය. අවසානයේදී එය විශාල කළු පැහැති තිරයක් සේ දිස්වන අතර ඉන් එහා පැත්තේ සිදුවන දේ කාටවත් නොපෙනේ. ඉන්පසු එදිනම රාත‍්‍රියේ බැකෝ යන්ත‍්‍රයක් කුඹුරට බස්සවා කුඹුර ගොඩ කිරීම ඇරඹෙයි. මෙහිදී බැකෝ රියැදුරාත් ඉඩම ගොඩකිරීමෙහි නියුක්තව සිටින සෙසු ගොවි මහත්වරුත්, හදිසියේ පොලිසියෙන් පැන්නොත් පිටේ පලූ මතුවන තුරු ගුටි කෑමේ අවදානමට ලක්ව සිටිති. මේ නිසා කුඹුර ගොඩකරන රාත‍්‍රී කාලයේදී බැකෝ රියැදුරාටත් කුඹුර ගොඩකරන ගොවි ජනයාටත් මුදලින් ඩබල් ගෙවා එළිවන විට කසිප්පුත් දෙනු ලැබේ. මේ ආකාරයෙන් දවස් තුනක් තුළ අක්කර භාගයක් ගොඩ කිරීමට පුළුවන. පොලිසියට, වන සංරක්ෂණයට, පහත් බිම් සංවර්ධන මණ්ඩලයට සහ මුතුරාජවෙල සමග නෛතිකව බැඳී සිටින ආයතනවල ප‍්‍රධානීන් අල්ලාගෙන ඔවුන්ට ජරාව දිය හැකි නම් ඉටි රෙද්දෙන් නොවසාම කුඹුර ගොඩ කළ හැකිය. මෙසේ ගොඩ කරන ලද කුඹුර පාර අයිනේ පිහිටියහොත් පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් විකිණිය හැකිය. එහෙත් මුතුරාජවෙල ගොඩ කෙරෙන ඉඩම් ගන්නා සිවිල් වැසියෝ බරපතළ අමාරුවල වැටෙති. මේවා පුරවන ලද මඩ ඉඩම් නිසා ඒ මත හදන ඉදිකිරීම් ගිලා බැසීමට නියමිත බැවින් මුලින්ම කළ යුත්තේ පයිල් බැස්සවීමය. මේ ඉඩම්වල ළිඳක් පවා කැපිය නොහැක. ළිඳක් කැපූ විට එයට උනන ජලය ඉහළ ක්ෂාර මට්ටමකින් සහ ආම්ලික තත්ත්වයකින් යුක්තය. මේ වතුර අවුරුද්දක් පානය කළ විට ආහාර ජීර්ණ පද්ධතියම වැසිකිළි වළට වැටේ.
 
 මුතුරාජවෙල ගොඩ කරන්නේ ආණ්ඩුවල සහයෝගයෙනි. එයින් අප කියන්නේ ආණ්ඩුව චක‍්‍ර ලේඛයක් මගින් මුතුරාජවෙල ඉඩම් පිරවීමට බලය ලබාදෙන බව නොවේ. ඉඩම් පුරවන විට බලයේ සිටින ආණ්ඩුව අහක බලාගෙන සිටින බව කීම මෙහිදී වඩාත් සුදුසුය. උදාහරණයක් වශයෙන් මේ ආණ්ඩුවට බලයට පත්වීමට උදව් කළ ඉඩම් සංවර්ධන සමාගමක් මේ දිනවල මුතුරාජවෙල ඉඩම් කට්ටි කිරීමට සූදානම් වෙමින් සිටින බව දැනගන්නට
 
 තිබේ. හයි වේ සෑදීමේ සිට මහ පොළවට අදාළ සියලූම කටයුතු කිරීමේ හැකියාවක් ඇති මේ සමාගම ”මේ පුද්ගලික ඉඩමකි. ඇතුළුවීම තහනම්” යනුවෙන් ලියන ලද බෝඞ් කෑලි මුතුරාජවෙල අභය භූමියේ තැන් තැන්වල සිටුවා ඇත. මේ කොල්ලය නැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැදිහත් නොවුණොත් ලොකු අවුලක් වීමට ඉඩ තිබේ. මුතුරාජවෙලට අයිතිකාරයෝ තුන් වර්ගයක් සිටිති. ඉන් පළමුවැන්න ආණ්ඩුවයි. දෙවැන්න මුතුරාජවෙල අභය භූමිය තුළ නීත්‍යනුකූල ඔප්පු සහිත කුඹුරු ඉඩම් හිමි ජනතාවයි. තුන් වැනි අයිතිකාර පිරිස වූ කලී පරිසරය සුරකින සංවිධානයන්ය.
 
 ඇත්තම කතාව නම් මුතුරාජවෙල රක්ෂිතය ගැන ආණ්ඩුව ද හරිහැටි නොදන්නා බවය. 1996 අභය භූමියක් ලෙස නම් කරන ලද අවස්ථාවේදී මුතුරාජවෙල හෙක්ටයාර දෙදහස් පන්සීය හැට නවයක් විශාල බව ශ‍්‍රී ලංකාවේ ජාතික තෙත් බිම් නාමාවලිය නමැති ආණ්ඩුවේ පොතේ සඳහන්ය. මෙය මධ්‍යම පරිසර අධිකාරියේ ප‍්‍රකාශනයකි. මේ අතර වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ මුතුරාජවෙල තෙත් බිම හෙක්ටයාර් එක්දහස් දෙසිය හැත්තෑ ගණනක් පමණ විශාල බවය. ආණ්ඩුවේම ආයතන දෙකක් මෙවැනි දිගක් පළලක් නැති කතාවක් කීමෙන් අර්ථකථනය වන්නේ මුතුරාජවෙල දිග පළලට වඩා ආණ්ඩුවේ දිග පළලය. හැම ආණ්ඩුවක්ම මෙවැනි කුණු කතා කියයි. මෙවැනි කුණු වැඩ කරයි. මේ ආණ්ඩුවද එසේමය.
 
 (අවසන් කොටස හෙට)
 
 
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles