Divaina - දිල්ලියට නොපෙනෙන විගී නාඩගම

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 2016 වසරේ යාපනයේ පැවැති තෛපොංගල් උත්සවය අමතමින් එවක උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන්, උතුරු පළාතේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථානගත කර සිටින ශ‍්‍රී ලංකා හමුදාව හඳුන්වනු ලැබුවේ උතුර අල්ලා ගත් හමුදාවක් ලෙසිනි. උතුරේ සිටින ලක්ෂ එකහමාරක හමුදාව නිසා යුද වැන්දඹුවන්ට තර්ජනයක් එල්ල වී ඇති බවද හෙතෙම ප‍්‍රකාශ කර සිටියේය. එදා උතුර අල්ලාගත් හමුදාවක් සිටිනවා යැයි කියූ විග්නේශ්වරන්  පසුගිය සෙනසුරාදා කිලිනොච්චියේ ජනතාව අමතමින් ප‍්‍රකාශ කර සිටියේ කවරක්ද?
 
 දකුණේ ආණ්ඩුව කවර තීරණයක් ගත්තද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ සහාය ලබා ගෙන සටන් කරන බවයි. හදිසියේම විග්නේශ්වරන්ට ඉන්දියාව මතක් වූයේ මන්ද? ඉන්දියාවේ දිනකට කොරෝනා රෝගීන් අනූදහසක් වාර්තා වීම නිසාද? වෙනදා එක්සත් ජාතීන්ගේ සහාය බටහිර ලෝකයේ සහාය පැතූ විගී දැන් ඉන්දියාවේ සහාය පතන්නේ තමිල් මක්කල් දේශීය කුට්ටනි පක්ෂයට ආධාර අතහිත ලබා දෙන්නේ ඉන්දියාව නිසාද? දෙමළ සන්ධානය දෙකට බෙදා දෙමළ ජනතා සභාව පිහිටු වූ ඔහු පසුව එය වෙනම දේශපාලන පක්ෂයක් බවට පත් කර පාර්ලිමේන්තුවට පිවිස තිබේ.
 
 පළමු පාර්ලිමේන්තු කතාවෙන්ම සිංහලයට පහර ගැසූ හෙතෙම දිගින් දිගටම ප‍්‍රකාශ කරන්නේ ලොව පැරණිම බස දෙමළ බස බවත් මෙරට පැරණිම ජනයා දෙමළ ජනයා බවත්ය. ශ‍්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිම බවට හැඳින්වීමට තරම් සාක්ෂි ඇති බවත් එහෙත් තමන් කිසි විටෙක ජාතිවාදය ඇවිස්සීමට කටයුතු නොකරන බවත් විග්නේශ්වරන් කිලිනොච්චියේදී යළි යළිත් පවසා තිබේ.
 
 දෙමළ වීරයාට ඇඳීමේ අනවරත අරගලයක නිරතවන විග්නේශ්වරන් නිසා සෙසු දෙමළ පක්ෂ නායකයන්ද අර්බුදයට පත්ව සිටින බව පැහැදිලිය. මොහුට අවශ්‍යව ඇත්තේ උතුරේ දෙමළ ජනතාව තුළ දකුණේ ආණ්ඩුව කෙරෙහි වෛරය ඇති කිරීම මිස සංහිඳියාව ගොඩනැගීම නොවේ.
 
 එක අවස්ථාවක වව්නියාවේ අබලන්ව ඇති වැව් සංවර්ධනය කිරීම සඳහා යුද හමුදාව යොදා ගැනීමට විරෝධය පළ කළ හෙතෙම ඒවා ග‍්‍රාමීය සංවර්ධන කමිටු වෙත භාරදිය යුතු බව ප‍්‍රකාශ කර සිටියේය. එනිසාම වැව් පිළිසකර කිරීම ඇන හිටි අතර ගොවි බිම් පාළුවී ගියේය. ඒ විග්නේශ්වරන්ගේ හමුදා විරෝධය නිසාය.
 
 උතුරු මහා ඇමැති ලෙස සිටිමින් දෙමළුනි නැගිටිව් කිව්වා හැරෙන්නට ඔහු උතුරේ දෙමළ ජනතාව නගා සිටුවීම වෙනුවෙන් කළ මෙහෙය කුමක්ද? ශ‍්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිමයි යනුවෙන් මන්ත‍්‍ර ජප කිරීම තුළින් පීඩිත දෙමළ ප‍්‍රජාවගේ බඩගිනි නිවෙන්නේද? මේ රාජකීය සිසුවා සිය දේශපාලන කල්පැවැත්ම වෙනුවෙන් පමණක් ජාතිවාදය අවුලන බව පැහැදිලි කරුණකි.
 
 මොහුට දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අයිතිය ඇති බව පැහැදිලිය. නමුත් ජාතිවාදය වපුරා නැවත උතුරේ ප‍්‍රජාව දෙමළ නාසිවාදය වෙත ඇද දැමීමට කටයුතු කිරීමට ඉඩ දිය යුතු නැත. පාර්ලිමේන්තුවේ කතා වලින් හෝ කිලිනොච්චි කතාවලින් දෙමළ ප‍්‍රශ්න විසඳෙන්නේ නැත. මේවා විගීට පහදා දෙන්නට ඉදිරිපත්වන්නේ කවරෙකුද? උතුරේ ප‍්‍රශ්න වලට අතදමන්නට දැන් ඉන්දියාව පැමිණෙන්නේ නැත. ඒ ඉන්දියාව අත්පුච්චා ගත් නිසාය. ඉන්දියාව ගනුදෙනු කරන්නේ සම්බන්ධන් සමග මිස විගී සමග නොවේ. දිල්ලියට පෙනෙන්නට නාඩගම් නැටුවාට උතුරට ලැබෙන වාසියක් නම් නැත.
 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles