Divaina - තවත් ඇමැතිකමක් නොව... - (රට ගොඩනගන වගකීම)

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

අභිනව රජයේ කැබිනට් මණ්ඩලය හා සෙසු ඇමැති මණ්ඩලය ඊයේ (12දා) දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී දිවුරුම් දුන්නේය. අවසන් (19 වැනි) ව්‍යවස්ථා සංශෝධනයට යටත්ව මේ අනුව කැබිනට් මණ්ඩල සාමාජිකයින් 30 ක් හා රාජ්‍ය ඇමැතිවරු 40 ක් මෙවර ආණ්ඩුවට අයත් වන අතර, දැනටමත් ඉන් කැබිනට් සාමාජිකයින් 25 දෙනකු හා රාජ්‍ය ඇමැතිවරු 39 දෙනකු පත්කර තිබේ.
 
 වෙනදා මෙන් නොව වියදම් සැර, ‘අභිමානවත්’ දිවුරුම් දීමක් වෙනුවට මෙවර අපට දකින්නට ලැබුණේ ආගමික වතාවත්වලට මුල්තැන දී සිදු කළ චාම්, සරල දිවුරුම් දීමේ උළෙලකි.
 
 නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උළෙලද වැඩි වැඩ නැති, සරල, චාම් උත්සවයක් වූ අතර, මෙහිදීද අප දුටුවේ හැකි තරම් ආගමානුකුලව එම කටයුතු සිදුවන බවකි. මෙහි සංකල්පීය නියමුවා වෙන කවරකුද නොව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජනතාවගේ විශ්වාසයයි. සැබැවින්ම එය ආදර්ශවත්ය. මහජන මුදල් නිකරුනේ වැය නොකර දැනටමත් සිදුකරන ලද මේ රාජ්‍ය උත්සව දෙකෙන් ආණ්ඩුව සැබෑ ආදර්ශයක් රටට ලබාදී ඇත.
 
 ඉතිහාසයේ කිසිදා නොදුටු තවත් සුවිශේෂී වෙනස්කමක් ද මෙවර අපට දකින්නට ලැබිණි. එනම් ඇමැතිකම් ලබන පුද්ගල නාමයන්ට පෙර ඇමැතිකම් මොනවාද යන්න ගැසට් නිවේදනයක් මගින් කළින්ම රජය ප‍්‍රකාශයට පත්කිරීමය. මේ අනුව ඇමැති විෂය පථයන් පිළිබඳව යම් තක්සේරුවකට සහභාගිවන්නට ජනතාවට ද අවස්ථාවක් හිමි වූ අතර, ආණ්ඩුව ඇමැතිකම් දෙන්නට ප‍්‍රථම ජනතාව ඒ සඳහා සුදුසු පාර්ලිමේන්තු නියෝජිතයින් කවුරුන්ද යන්න තෝරා තිබෙනු සමාජ මාධ්‍ය තුළින් දැකගත හැකි විය.
 
 කෙසේ හෝ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් අදාළ පත්කිරීම් යම් විද්‍යානුකූල ක‍්‍රමවේදයකට අනුව සිදුකරන්නට කටයුතු යොදා තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර, එම තනතුරු ක‍්‍රියාත්මක වන අයුරු යථා කාලයේදී අපට දැකගන්නට ලැබෙනු ඇත.
 
 එනමුත්, යම් විෂයයන් අමාත්‍යාංශ අතර බෙදී යන අයුරු පිළිබඳව ද යම් ගැටලූ නැත්තේ නොවේ. නිදසුනක් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් දීර්ඝ කලක් අයත්ව පැවති පරිසර අමාත්‍යාංශයෙන් ඉවත් කර නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතට ගෙන ඇත්තේ කුමන පදනමකින් ද යන්න පැහැදිලි නැත. ස්වාභාවික සම්පත් සංරක්ෂණයේ ප‍්‍රමුඛ ආයතනයක් වන මෙම දෙපාර්තමේන්තුව මින් ඉදිරියට සංරක්ෂණ ක‍්‍රියාදාමයෙන් ව්‍යුක්ත වනු ඇතැයි මේ අනුව ඇතැමකු තුළ බියක් ඇතිවීම විටෙක සාධාරණය.
 
 එනමුත්, ඇතැම් විෂයයන් ටක්කෙටම ඇමැතිවරුන්ට ලබාදීම මගින් අදාළ ඉලක්කය සපුරාගැනීම ඒ තුළ රජය අරමුණු කරගෙන ඇති බව පෙනේ. රටේ ප‍්‍රමුඛ ගැටලූවක් වන අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන රාජ්‍ය අමාත්‍යාංශය විමලවීර දිසානායක මහතාට පිරිනමමින්, එම අමාත්‍යාංශය නම්කර ඇත්තේ වනජීවී රැුකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ යනාදී වශයෙනි.
 
 එසේම, ජානක වක්කුඹුර මහතාගේ රාජ්‍ය අමාත්‍යාංශය උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග යනාදී ලෙස ඉලක්ක ලෙසම ලබාදී තිබීමෙන් තවදුරටත් තමන්ට අයත් විෂයයට හෙතෙම යොමුකර ඇත.
 
 එසේම මෙවර රාජ්‍ය අමාත්‍යාංශ බොහොමයක් පාහේ කෘෂි ක්ෂේත‍්‍රය ඇතුළු ග‍්‍රාමීය ආර්ථිකය ප‍්‍රවර්ධනය සඳහා මෙන්ම දිළිඳුකම තුරන්කිරීම අරමුණු කර ඇති බව පෙනේ. මෙම තත්ත්වය මීට පෙර එතරම් විද්‍යමාන වූවක් නොවේ. මෙය පැහැදිලිවම රට හදන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යන්නක් බව ඉන් පැහැදිලි වේ. එසේ හෙයින් මෙවර පත්වූ ඇමැතිවරුන්ට හිතට ගන්නට හා ඇඟට ගන්නට වැඩකොටසක් තිබේ. මේ සඳහා දැනටමත් සියල්ලන්ටම කාර්යාල පහසුකම් පවා වෙන්කර දී ඇතැයි කියනු ලැබේ.
 
 එසේ හෙයින් රට ගොඩනගන කාර්යයට තම ශක්ති ප‍්‍රමාණයෙන් පණ පෙවීමේ වගකීම ඇමැති මණ්ඩල සාමාජිකයින්ට ලබාදී ඇත. එය තවදුරටත් වරප‍්‍රසාද පිරිනැමීමක් ලෙස වරදවා වටහා නොගත යුතු අතර, ඒ වගකීම නිසි අයුරින් ඉටුවනු දැක්ම ජනතාව ලෙස අපගේ බලාපොරොත්තුවයි.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles