Divaina - ‘‘ස්ලම්ඩෝග් මිලියනර් ඉන් ශ‍්‍රී ලංකා’’

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ඉන්දීය රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියකු හා ප‍්‍රසිද්ධ ලේඛකයකු වූ විකාස් ස්වාරුප් විසින් රචිත Q and A නවකතාව ඇසුරින් රචිත, බි‍්‍රතාන්‍ය ජාතික ඩැනියෙල් බොයිල් විසින් අධ්‍යක්‍ෂණය කළ ඔස්කාර් සම්මාන හිමි වූ ‘‘ස්ලම්ඩෝග්  මිලියනර්’’ (Slumdog Millionaire) චිත‍්‍රපටය පුරා දිවයන්නේ අඩුම තරමේ වැසිකිළි පහසුකමක්වත් නොමැති ඉන්දීය පැල්පත්වාසී දරුවකු මිලියනපතියකු වීමේ ෆැන්ටසියයි. එම චිත‍්‍රපටය ඉන්දියානු සංවර්ධනයට එල්ල කළ අසූචි ප‍්‍රහාරයක් බව අමුතුවෙන් කිව යුතු නැත. සංවර්ධනය යනු අඟහරු ග‍්‍රහයා වෙත රොකට්ටුවක් යැවීම ද, නැතිනම් රටේ ජනතාවගේ අවම සනීපාරක්‍ෂක පහසුකම් ප‍්‍රශ්නය විසඳීම ද යන්න ඉන්දියාවට මතක් කර දුන්නේ ‘ස්ලම්ඩෝග් මිලියනර්’ චිත‍්‍රපටය මගිනි. එතැන් සිට ඉන්දීය රජය තම පුරවැසියන්ට වැසිකිළි පහසුකම් ලබාදීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් දියත් කර ඇති අතර එමගින් වැසිකිළි පහසුකම් හිමි වූ ඉන්දියානුවන්ගේ ගණන මිලියන 110 කි. නමුත් ලෝකයේ විවෘත අවකාශයට මළපහ කරන මිලියන 892 ක පිරිසෙන් මිලියන 500 ක් පමණ තවමත් ඉන්දියාවේ ජීවත් වන බව අප අමතක නොකළ යුතුය. ඒ වගේම ඉන්දියාවේ මෙන් ශ‍්‍රී ලංකාවේ මාතලේ දිස්ත‍්‍රික්කයේ ද ‘ස්ලම්ඩෝග් මිලියනර්ලා’ සිටින බව මෙතැන් සිට මතක තබා ගන්න.
 
 මාතලේ දිස්ත‍්‍රික්කය තුළ තමන්ට කියා වැසිකිළියක් නොමැති පවුල් දසදහස් නමසිය හතරක් (10904* සිටින බව මාතලේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය මගින් සිදුකළ සමීක්‍ෂණයකදී අනාවරණය වී තිබේ. දිසාපති කරුණාසිරි පෙරේරා මහතාගේ උපදෙස් පරිදි සිදු කළ මෙම සමීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ වැසිකිළි යෑම සඳහා කැලය භාවිත කරන පවුල් සංඛ්‍යාව 691 ක් බව ය. එම දත්ත අනුව කිසිදු වැසිකිළි පහසුකමක් නොමැති පවුල් 193 ක් දඹුල්ලේ ද, පවුල් 49 ක් නාවුල ද, පවුල් 114 ක් ගලේවෙලද, පවුල් 21 ක් පල්ලෙපොළ ද, පවුල් 45 ක් මාතලේ ද පවුල් 39 ක් අඹන්ගඟකෝරලේ ද, පවුල්
 
 46 ක් ලග්ගල පල්ලේගම ද, පවුල් 16 ක් විල්ගමුවේ ද, පවුල් 110 ක් රත්තොට ද පවුල් 30 ක් උකුවෙල ද ජීවත් වෙති. ශ‍්‍රී ලංකාව සංවර්ධනයේ ආශ්චර්යෙන් ගිනිකණ වැටී තිබුණ ද රටේ පුරවැසියන්ගේ සනීපාරක්‍ෂක පහසුකම්වල යථාර්ථය මීට වඩා කටුකය.
 
ශ‍්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් අවසන් වරට සිදුකරන ලද සමීක්‍ෂණයට අනුව ශ‍්‍රී ලංකාවේ වැසිකිළි පහසුකම් නොමැති නිවාස ඒකක ගණන 2% කි. නමුත් වැසිකිළි පහසුකම් ඇති ප‍්‍රතිශතයෙන් සෞඛ්‍යාරක්‍ෂිත වැසිකිළි තිබෙන්නේ 91% කට පමණි. වතු නිවාසවල මෙම ප‍්‍රතිශතය 79% ක් පමණ වන අතර පොදු ස්ථානවල වැසිකිළි පහසුකම් පවතින්නේ ඉතා අවම මට්ටමේය. තිබුණද ඒවාට ජනතාවට තබා බල්ලෝවත් යන්නේ නැත. කොළඹ නගරයේ එවැනි පොදු වැසිකිළියක් හේතුවෙන් කොරෝනා වෛරසය පැතිර යෑමේ දැඩි අවදානමක් තිබූ බව ද එම අවදානම තවම පහව ගොස් නැති බව ද අපි අවධාරණය කරන්නෙමු.
 
රටේ ජනතාවගේ වැසිකිළි පහසුකම් නැංවීම සඳහා සෑම රජයක්ම වසරින් වසර සංවර්ධන පත‍්‍රිකා ඉදිරිපත් කර තිබේ. අවසන් වරට අය වැය වාර්තාව කියවූ හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් රටේ පෞද්ගලික නිවාස 260,000 ක් සඳහා වැසිකිළි ඉදිකිරීම සඳහා මිලියන 4000 ක් වෙන් කර තිබිණි. මෙපමණ මුදල් ප‍්‍රමාණයක් වෙන්කර තිබියදී මාතලේ පවුල් දසදහසගේ වැසිකිළි ප‍්‍රශ්නය තවම විසඳී නොමැත.
 
 අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මීට පෙර පවසා තිබුණේ ශ‍්‍රී ලංකාවේ පාසල් 582 කට වැසිකිළි පහසුකම් නොමැති බවය. ඇමැතිවරයා එසේ පැවසුව ද 2012 වසරේ කාර්යසාධන වාර්තාවට අනුව පාසල් සංවර්ධන සඳහා එක් පාසලකට රුපියල් ලක්‍ෂ 5 බැගින් ව්‍යාපෘති 6483 ක් සඳහා ප‍්‍රතිපාදන ලබා දී තිබිණි. ඉන් 7% ක් වෙන් වී තිබුණේ සනීපාරක්‍ෂක පහසුකම් ඉහළ නැංවීම සඳහා ය. ඒ වගේම 2015 - 19 ආණ්ඩු සමයේ පාසල්වල සනීපාරක්‍ෂක පහසුකම් නැංවීම සඳහා රුපියල් මිලියන 3733 ක් ද, වැසිකිළි සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 276 ක් ද, වෙන් කර තිබිණි. මේ සියලූ ප‍්‍රතිපාදන දේශපාලකයන්ගේ ගෙදරින් ලබාදෙන ප‍්‍රතිපාදන නොව, රටේ ජනතාවගේම බදු මුදල් බව හොඳින් මතක තබා ගන්න.
 
 මේ සියලූ දත්තවලින් ඉතා පැහැදිලි වන්නේ රටේ කිසිදු ආණ්ඩුවකට ජනතාවගේ පමණක් නොව පාසල් දරුවන්ගේ ද සනීපාරක්‍ෂක පහසුකම් විසඳීම සඳහා ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැති බවය. මේවාට දැන්වත්  විසදුම්   ලබා දිය යුතුය.
  

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles