Divaina - රාජ සභා මණ්ඩපයෙන් හමා එන දේශපාලන දුගඳ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

buwaneka135ශ‍්‍රී ලංකාවේ දේශපාලනය යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නමැති සීල් එක සහිත අලංකාර පෝසිලේන් බඳුනකින් වසා ඇති ඉහඳ පණුවන්ගෙන් පිරී කුණුම කුණු, කුණු ගොඩකි. රටේ දේශපාලනයේ පැවැත්ම තීරණය කරනු ලබන්නේ මේ කුණු ගොඩෙන් හමන දුගඳේ විසරණය මත මිස ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංගවල සුවඳින් නොවන බව දැන් රටේ ජනතාව තේරුම් ගෙන තිබේ. නමුත් රටේ ජනතාවටද මෙම කුණු ගොඩෙන් තොර පැවැත්මක් නැත. එය හරියට හිඟන්නාගේ තුවාලය වගේය. රටේ සෞඛ්‍ය සේවා නොමිලේ ලබා දුන්නද, කිසිදු හිඟන්නෙක් තමන්ට වේදනාවක් ගෙන දෙන තුවාලය සුවකර ගන්නේ නැත. මන්ද, ඔහුගේ පැවැත්ම රැුඳී තිබෙන්නේ තුවාලයේ පැවැත්ම මත පමණි. එලෙසින්ම රටේ දේශපාලන තුවාලය සුවකර ගැනීමටද ජනතාවට උනන්දුවක් නොමැත. මක් නිසාද යත් මෙම තුවාලය මේ වනවිට ජනතාවගේ උරුමයක් වී තිබේ. ඇත්තටම අද වන විට රටේ ජාතික උරුම බවට පත් වී ඇත්තේ, සීගිරිය, අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල නටබුන් නොව දුගඳ හමන මේ දේශපාලන කුණු බක්කිය ය. ජනතාව මේ බක්කිය ආරක්ෂා කරන තරමට එය රටේ ජාතික උරුමය දර්ශකයේ ඉහළින් වැජඹෙනු ඇත.
 
 කුරුණෑගල නගරයේ පිහිටි දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය පිහිටි භූමියේ තිබූ ඉපැරණි ගොඩනැගිල්ල බිමට සමතලා කිරීමෙන් පසු හමා ගිය දේශපාලන දුගඳ ජනතාවගේ නහය අසලටවත් පැමිණියේ නැත. එහි දුගඳ වැඩියෙන්ම දැනුනේ දුගඳ හොඳින් හඳුනන විපක්ෂයට පමණි. රටේ සෑම විපක්ෂයක්ම දුගඳ හඳුනාගැනීම අතින් අධි සංවේදී බවත්, ඔවුන් බලයේ සිටි ආණ්ඩු බවත් අප අමතක නොකළ යුතුය. ආණ්ඩු පක්ෂය විපක්ෂය වීමත්, ඒ විපක්ෂයම නැවත ආණ්ඩු බලය  ලබාගැනීමත් ලංකාවට පමණක් සුවිශේෂී වූ දේශපාලන උරුමයකි. කලකදී මේ විපක්ෂය බලයේ සිටියදී පෞරාණික බුවනෙකබාහු රාජ සභා ගොඩනැගිල්ල බදු දී තිබුණේ හෝටලයකටය.

එය හෙරිටේජ් පන්තියේ හෝටලයක් නොව, පැය දෙකට දාහයි පන්තියේ හෝටල්ය. නමුත් ඊට විරුද්ධව රටේ ජනතාව තබා, කුරුණෑගල ජනතාවවත් කිසිදා පාරට බැස්සේ නැත. මෙම පෞරාණික ගොඩනැගිල්ල බිමට සමතලා කළ කුරුණෑගල නගරාධිපතිවරයා පවසන්නේ මෙම ගොඩනැගිල්ල ගණිකා මධ්‍යස්ථානයක් හා ගබ්සා මධ්‍යස්ථානයක් ලෙස පැවතුණු බවයි. එවැනි අපචාර සිදු වූයේ නම් ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීම පැවරෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හා පොලිසියටය. නගරාධිපතිවරයා කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනවලට පැමිණිලි කිරීම පමණි. නමුත් ඔහු කරන්නේ මහ දවල් මෙම පෞරාණික ගොඩනැගිල්ල බිමට සමතලා කිරීමය. ඛේදවාචකය, එවැනි විනාශයක් කළ නගරාධිපතිවරයා තවමත් තනතුරේ රැඳී සිටීම සහ ඊට එරෙහිව රටේ ජනතාව තබා, කුරුණෑගල ජනතාවවත් පාරට නොබැසීමය. ජනතාව දේශපාලන කුණු බක්කිය ආරක්ෂා කරන හැටි ගැන ඉගෙන ගැනීමට තවත් උදාහරණ නොවුවමනාය.
 
 මේ වන විට රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටු වාර්තාව නිකුත් වී තිබේ. එම වාර්තාවේ සඳහන් ප‍්‍රධාන කරුණු වන්නේ ඉපැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කිරීම, ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සහ මෙම විනාශයට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රාජසභා ගොඩනැගිල්ල පවරා ගත යුතුව තිබුණේ, ගොඩනැගිල්ල හෝටලයකට බදුදෙන අවස්ථාවේ මිස එය බිමට සමතලා වූ පසුව නොවේ. ශ‍්‍රී ලංකාවේ ජාතික උරුමය ආරක්ෂා කිරීමට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වී ඇති තරම කොහොමද?
 
 කුරුණෑගල පුරාවිද්‍යා උරුමය විනාශ කළ නගරාධිපතිවරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස මුලින්ම හඬ අවදි කරනු ලැබුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නොව, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රබල දේශපාලන මතධාරියකු වන විමල් වීරවංශ මහතාය. විනාශය සොයා බැලීමට ආණ්ඩුව කමිටුවක් පත් කරනු ලබන්නේ ඉන් පසුවය. දැන් තිබෙන්නේ කමිටු වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමය. රටේ ජාතික උරුමය ගැන සහ පෞරාණික ගොඩනැගිලි කළමනාකරණය ගැන මනා දැනුමක් ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පුරාවිiා විනාශය පිළිබඳව ඉතා සංවේදීව කටයුතු කරනු බව ජනතාවගේ විශ්වාසයය.
 
ජාතික සංවර්ධන ක‍්‍රියාවලියේදී මෙවැනි පුරාවිද්‍යාත්මක ගොඩනැගිලිවලට හානි සිදුවනවා නම්, සංවර්ධන ක‍්‍රියාවලිය අඩපණ නොකොට, එම පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ල ඒ අයුරින්ම වෙනත් ස්ථානයකට ගෙන ගොස් ස්ථාපනය කිරීමේ සංරක්ෂණ ක‍්‍රමවේදයක් (Relocation) අද ගෝලීයව ක‍්‍රියාත්මක වේ. ඊජිප්තුව විසින් අස්වාන් වේල්ල ඉදිකිරීමේදී ජලයෙන් යටවීමට ගිය පාරාවරුන්ගේ අබුසිම්බල් දෙව් මැදුර කඳු මුදුනක ස්ථාපනය කරනු ලැබුවේ මෙම ක‍්‍රමවේදයටය. බි‍්‍රතානයේ පෞරාණික උරුමයක් වන ලන්ඩනයේ මාර්බල් ආරුක්කුව (LondonZs Marble Arch) යනු බකිංහැම්  මාලිගයට පිවිසෙන දොරටුවය. බකිංහැම් මාලිගය පුළුල් කිරීමෙන් පසුව එය හයිඞ් පිටිය අසල ස්ථානයකට ගෙන යෑමට කටයුතු කරනු ලැබුවේ මෙම ක‍්‍රමවේදයටය. ශ‍්‍රී ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍යය ලෙස සැලකෙන නාලන්දා ගෙඩි ගෙය නැවත ඉදි කරනු ලැබුවේද මෙම සංරක්ෂණ තියරියටය. මෙම ක‍්‍රමවේද ක‍්‍රියාත්මක කිරීමට රටකට දේශපාලන දැක්මක් වුවමනාය. එය ගොඩනගා ගැනීමට නම් මුලින්ම කළ යුත්තේ ජාතික උරුමයෙන් දේශපාලනය ගලවා ගැනීමය. ජාතික උරුමය සහ දේශපාලනය පටලවා ගැනීමෙන් සිදුවන්නේ රටේ ජාතික උරුමයද දේශපාලන පණුවන් විසින් ගිල දැමීමය. අප ඊට ඉඩ දිය යුතුද?

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles