Divaina - ස්වර්ණමය ත‍්‍රිකෝණයේ කුඩු ගබඩාව

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1


 
 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සිදු කළ මත් කුඩු ජාවාරම් රැුසක තොරතුරු අනාවරණය වෙමින් තිබේ. රාජ්‍ය දේපළ, නිල ඇඳුම පමණක් නොව රටේ නීතිය මගින් ඔවුන්ට පූර්ණ බලය ලබාදී තිබෙන්නේ මත් ජාවාරම මර්දනය කර රටේ අනාගතය යහපත් කිරීමටය. නමුත් ඔවුන් ඒ සියලූ බලතල යොදාගෙන කර ඇත්තේ රට දැඩි අවදානමට පත් කරන කුඩු ජාවාරමේ නිරත වීමය. මෙවැනි සිදුවීම් අප මීට පෙර දැක ඇත්තේ මෙක්සිකෝවේ සහ ඉතාලියේ සිසිලි ¥පතේ මාෆියා කල්ලි ගැන සඳහන් ඇමෙරිකානු චිත‍්‍රපටවලය. එම චිත‍්‍රපටවල එන ක‍්‍රියාකාරකම් ශ‍්‍රී ලංකාවේදී යථාර්ථයක් වීමෙන් පැහැදිලි වන්නේ රටේ මත් කුඩු ජාවාරම ඔඩු දුවා ඇති තරමය.
 
 පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය පිහිටුවන්නේ අනාගත දරු පරපුර මත් උවදුරින් බේරා ගැනීමේ උතුම් අරමුණු පෙරදැරි කොටගෙන ය. එම අරමුණෙන් ඉදිරියට ගිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය රට මත් උවදුරෙන් ගලවා ගැනීමට ඉතිහාසයේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කර තිබේ. 1973 දී එවකට පොලිස්පති ස්ටැන්ලි සේනානායක විසින් මෙවැනි කාර්යාංශයක ඇති වැදගත්කම එවක පැවැති රජයට පෙන්වා දීමෙන් පසු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පිහිටුවා ආඥා පනතක් මඟින් විශේෂ බලතල හිමි කරදී ඇත්තේ අනාගතයේ පැමිණෙන මත් රකුසාට රටේ අනාගතය බිලි නොදීම සඳහාය. නමුත් මෙම ආයතනයට රිංගා ගත් පාදඩයන් පිරිසක් හේතුවෙන් මේ වන විට රටේ මත් උවදුර මර්දනය කිරීමේ ක‍්‍රියාවලියේ විශ්වාසය බිඳ වැටී, සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම කීර්ති නාමය විනාශ වී තිබේ. මේ හේතුවෙන් මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු වෙනුවට, සමස්ත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයම පුනරුත්ථාපනය කිරීමේ භාරධූර වගකීම රජය මත පැටවී තිබේ.
 
 ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලූව මෑතකාලීන සංසිද්ධියක් නොව එය පෘතුගීසී යුගයේ සිට පැවත එන විශාල සමාජීය අර්බුදයකි. ප‍්‍රථමයෙන්ම පෘතුගීසි ජාතිකයන් විසින් අබිං කෑම ලංකාවට හඳුන්වා දෙන ලද අතර පෘතුගීසි හා ලන්දේසි සොල්දාදුවෝ බහුල වශයෙන් අබිං කෑමට පුරුදු වී සිටියහ. 1829 දී එකල සිටි ඉංග‍්‍රීසි ආණ්ඩුකාරතුමා විසින් ශ‍්‍රී ලංකාවේ අබිං වගාව සංවර්ධනය කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීම පිණිස අනුබල දෙන ලදී. මෙයට විශේෂයෙන් හේතු වූයේ වතුකරයේ සේවය කළ ද්‍රවිඩ ජනතාවගේ අවශ්‍යතාව සඳහා අබිං ගෙන්වීම කරන අතරතුරදීම ලංකාවේ වගා කිරීමට උනන්දු කිරීමය. එසේම මේ වන විට අබිං වෙළෙඳාම ක‍්‍රමවත් කිරීම සඳහා ලයිසන් ක‍්‍රමය හඳුන්වා දී තිබූ අතර එමඟින් රජයට විශාල බදු ආදායමක් ලැබුණි. ක‍්‍රමයෙන් ශ‍්‍රී ලාංකික සමාජය තුළ අබිං කෑම සමාජ ප‍්‍රශ්නයක් ලෙසින් ගැටලූ මතුවීමට පටන්ගත් නිසා මේ සම්බන්ධයෙන් 1867 අංක 19 දරන අබිං සහ කංසා ආඥා පනත පනවන ලදී.
 
 1930 ගණන් වන විට ශ‍්‍රී ලංකාවේ වැඩියෙන්ම භාවිත කළේ අබිං සහ ගංජාය. 1929 දී ප‍්‍රථම වරට ගංජා සහ විෂ මත් වර්ගවලට එරෙහිව පනතක් ඉදිරිපත් වූයේ මේවායේ භාවිතය ක‍්‍රමයෙන් ඉහළ යෑම නිසාය. 1948යේ ශ‍්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුවද, 1955 වන විටත් විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය උත්සාහ ගෙන නොතිබුණි. 1955 වර්ෂයෙන් පසු කිසිදු සංශෝධනයක් කර නොතිබුණු අන්තරායදායක ඖෂධ ආඥා පනත, 1984 අංක 13 දරන අන්තරායදායක ඖෂධ වර්ග පනත මඟින් සංශෝධනය කර 1984 අංක 11 දරන අන්තරායදායක ඖෂධ පාලනය කිරීමේ පනත මඟින් අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලය පිහිටුවන ලදී. ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර ගංජා සහ අබිංවලින් ඇරඹුණද, 70 දශකය අවසානයේදී ඉතා ප‍්‍රබල හා භයානක මත් ද්‍රව්‍යයක් වන හෙරොයින්ද ඊට එකතු විය. එය ප‍්‍රධාන වශයෙන්ම විදේශීය සංචාරකයන් ගැවසෙන කොළඹ, හික්කඩුව වැනි ප‍්‍රදේශවලට සීමා වුවද වර්තමානය වන විට මෙහි භාවිතය වර්ධනය වී අද වන විට හෙරොයින් මත් වෙළෙඳාමේ ජාත්‍යන්තර හුවමාරු කේන්ද්‍රස්ථානයක් බවට ශ‍්‍රී ලංකාව පත්වී තිබේ. මෙම මත් ජාවාරම කෙතරම් බලවත්ද යත් රටේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගිල ගන්නා තරමට එය මේ වන විට වර්ධනය වී තිබේ.
 
 ශ‍්‍රී ලංකාව තුළ මත් ජාවාරම ඉහළ යෑමට බලපෑ අනෙක් ප‍්‍රධාන හේතුව වන්නේ ලෝකයටම විෂ මත්ද්‍රව්‍ය නිපදවන ස්වර්ණමය ත‍්‍රිකෝණයේ (ඨදකාැබ ඔරස්බටකැ* මැද ශ‍්‍රී ලංකාව පිහිටා තිබීමය. මෙම ත‍්‍රිකෝණයට අයත් රටවල් වන්නේ ලා ඕසය, තායිලන්තය, බුරුමය, ඇෆ්ගනිස්තානය, ඉරානය සහ පකිස්තානය වේ. අද වන විට මෙම ස්වර්ණමය ත‍්‍රිකෝණයේ මත්කුඩු ගබඩාව බවට පත්වී ඇත්තේ ශ‍්‍රී ලංකාවය. එම නිසා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන්ට දඬුවම් ලබාදීමෙන් පමණක් රටේ මත් ජාවාරම මර්දනය කළ නොහැකි බව ආණ්ඩුව වටහා ගත යුතුය. ඒ සඳහා මත් උවදුර මර්දනය කිරීමේ ජාත්‍යන්තර යාන්ත‍්‍රණය සමග අප කඩිනමින් අත්වැල් බැඳගත යුතුය. මෙම ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකා පොලිසිය තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම ආණ්ඩුවේ වගකීමය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles