Divaina - විනයාගමුර්ති මුරලිදරන්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් විසින් සිදු කරන ප‍්‍රකාශයක් නිසා ඇති වූ දේශපාලන ගින්න තවම නිවී ගොස් නැත. එය අළු යට ගිනි මෙන් නැවත නැවතත් ඇවිළෙමින් තිබේ. මහ මැතිවරණය ආසන්නව තිබියදී, රටේ අනාගත දේශපාලන ප‍්‍රතිපත්ති සංවාදයට ලක් විය යුතු වැදගත් අවස්ථාවක, රටේ සියලූම දේශපාලකයන් කරුණාගේ
 
 ප‍්‍රකාශය සෑම දේශපාලන වේදිකාවකම ගිරවුන් සේ පුනරුච්චාරණය කිරීම එක අතකින් ජුගුප්සාජනකය. මේ මොහොතේ රටේ ජනතාවට වැදගත් වන්නේ හිටපු එල්.ටී.ටී.ඊ. කාඩරයකුගේ වාචාල ප‍්‍රකාශ පිළිබඳ දේශපාලන සංවාදයක් නොව රටේ අනාගතය තීන්දු කරන දේශපාලන ප‍්‍රතිපත්ති පිළිබඳ සංවාදයකි. කොරෝනා වෛරසය විසින් රට බිත්තියටම හේත්තු කර තිබියදී, රට නැවත ගොඩනැඟිය හැක්කේ එවැනි උත්තරීතර සංවාදයකින් පසු ඇතිකර ගනු ලබන දේශපාලන ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීමෙනි. නමුත් රටේ සෑම දේශපාලන පක්ෂයක්ම එම සංවාදය මගහැර, ඔවුන්ට සුපුරුදු මඩ ගොහොරුවේම ළැග සිටීම ඛේදවාචකයකි.
 
 කරුණා අම්මාන්ගේ ප‍්‍රකාශයට පාදක වන්නේ ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ
 
 නැගෙනහිර සන්නද්ධ නායකයා ලෙස කටයුතු කරමින් සිටියදී සිදු කළ ත‍්‍රස්ත ක‍්‍රියාවකි. එල්.ටී.ටී.ඊ.යේ සිහින ඊළමේ වැදගත්ම කලාපයක් වූ, නැගෙනහිර භාරව සිටි ත‍්‍රස්තවාදී
 
 නායකයකුගේ කාර්යය වන්නේ, මල් වට්ටියක් රැුගෙන පන්සල් හෝ කෝවිල් යෑම නොව තමන්ට එදිරිව නැගී සිටින සතුරා මර්දනය කිරීමය. නමුත් එල්.ටී.ටී.ඊ.යේ සන්නද්ධ අරගල කණපිට පෙරළමින්, ඊළාම් රාජ්‍යය ද ප‍්‍රතික්ෂේප කරමින් කරුණා උතුරේ සිට දකුණට පැමිණ, දේශපාලන ප‍්‍රවාහයට එකතු වූයේ එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් ජීවතුන් අතර සිටියදීමය. ශ‍්‍රී ලංකාවේ සිව්වැනි ඊළාම යුද්ධය ජය ගැනීමේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ කරුණාගේ
 
 එම පැමිණීමය. එතැන් සිට එල්.ටී.ටී.ඊ.ය යුදමය වශයෙන් පරාජය කිරීමට පමණක් නොව, ඊළාම රාජ්‍යය මතවාදීව පරාජය කිරීමට කරුණා විසින් ඉටු කරනු ලැබුවේ ජාතික වගකීමකි. නමුත් එවැනි මෙහෙවරක් ඉටු කළ කරුණා අම්මාන් අද වන විට ජාතියේ ප‍්‍රධාන සතුරා බවට පත් කිරීමට තරම් දකුණේ දේශපාලනය කුහක වීම කනගාටුවට කරුණකි.
 
 කරුණා අම්මාන් සිදු කළ ප‍්‍රකාශයෙන් රටේ සාමයට, සංහිඳියාවට බාධාවක් සිදු වූයේ නම්, ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවට කිසිදු විවාදයක් නැත. නමුත් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේදී ඔහු ලබාදුන් විප්ලවීය දායකත්වය, ඔහුගේ වාචාල ප‍්‍රකාශයකට ලඝු නොවිය යුතු බව අපගේ මතය ය. අප මේ මොහොතේ සංවාදයට ලක් කළ යුත්තේ යුද්ධය අවසන් වී වසර 11ක් ගත වී තිබියදීත්, කරුණා අම්මාන් ත‍්‍රස්තවාදී වික‍්‍රමයන් ගැන කතා කරන තත්ත්වයට රටේ දේශපාලනය පත් වී තිබීම ගැනය. සාමාන්‍යයෙන් මෙවැනි ප‍්‍රකාශ මීට පෙර නිකුත් කරනු ලැබුවේ විග්නේෂ්වරන් ප‍්‍රමුඛ දෙමළ සන්ධානය විසිනි. දෙමළ සංධානයට අවශ්‍ය වන්නේ තුවාලය සුව කර ගැනීම නොව, එය කළමනාකරණය කරමින් දේශපාලන බලය ලබා ගැනීමය. එය එක අතකින් දකුණේ දේශපාලනය අනුකරණය කිරීමකි. මේවා හිඟන තියරිය. කරුණා අම්මාන්ට අවශ්‍ය වී ඇත්තේ මේ හිඟන තියරිය පාවිච්චි කර දෙමළ සංධානය සතු දේශපාලන බලය තමන් සතු කර ගැනීමය. කරුණා අම්මාන් වැනි ප‍්‍රගතිගාමී කාඩර්වරයකු එවැනි හිඟන දේශපාලනයක නිරත වීම අප හෙළා දැකිය යුත්තේ මේ නිසාය.
 
 ශ‍්‍රී ලංකාව නමැති රාජ්‍යය ප‍්‍රපාතයට ගෙනයමින් තිබෙන මෙම හිඟන දේශපාලනය පරාජය කිරීමේ විශාල වගකීමක් දකුණේ දේශපාලනය විසින් ඉටු කළ යුතුව තිබේ. නමුත් ඔවුන් එම වගකීම අමතක කර හිඟන දේශපාලන
 
 මඩ ගොහොරුවේම ළැග සිටීම ඛේදවාචකයකි. දිගින් දිගටම කරුණාට තඩිබෑම මගින් පෙනී යන්නේ ඔවුන්ගේ දේශපාලන විඥානයේ දිග පළලය. ඒ වගේම මෙම තඩි බෑමෙන් තවත් භයානක සංඥාවක් දකුණෙන් උතුරට ලබා දී තිබේ. එය නම් උතුරේ දේශපාලන මත ඉවසීමට තවමත් දකුණ සූදානම් නොමැති බවය. එය එක අතකින් තවදුරටත් දෙමළ සංධානය වටා උතුරේ ජනතාව ඒකරාශි කිරීමට ලබාදෙන නොනිල අනුග‍්‍රහයකි. කෙටියෙන් කිව්වොත් උතුරට ස්වයං පාලනයක් ඉල්ලා අරගල කරන දෙමළ සංධානයේ ජනතා මතය තවත් ශක්තිමත් කිරීමකි. දකුණේ සිටින්නේ මෙම සරල දේශපාලන තියරියවත් වටහා ගත නොහැකි දේශපාලන උරුලෑවන් පිරිසකි.
 
 ශ‍්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය වන්නේ විනයාගමුර්ති මුරලිදරන්ලා වැඩි වැඩියෙන් බිහි කර, ඔවුන්ගේ මතවාදය එක්සත් ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් ශක්තිමත් කිරීම මිස, තවත් කර්නල් කරුණා අම්මාන් කෙනකු බිහිකර ගැනීම නොවේ. එම සබුද්ධික දේශපාලනය වෙනුවෙන් දැන්වත් විඥානය අවදි කරගැනීම දකුණේ දේශපාලකයන්ගේ වගකීමය.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles