Divaina - රියැදුරු බලපත‍්‍ර දූෂිත ගනුදෙනුව

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

එදා මෙදා තුර ශ‍්‍රී ලංකාවේ සිදු වූ බරපතළම වංචාවක් වන මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත‍්‍ර ටෙන්ඩරය තවත් වසර දෙකකින් දීර්ඝ කර ගැනීමේ ගිවිසුම් අත්සන් තැබීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි අවසන් මොහොතේ නතර කර දමා තිබේ.
 
 අගමැතිවරයාගේ මෙම ජනතාවාදී තීරණය මෙරට දූෂණයට, වංචාවට හා මහජන මුදල් නාස්තියට විරුද්ධ බොහෝ දෙනකුගේ සතුටට හේතුවන බව අපගේ අදහසයි.
 
 බරපතළ දූෂණ චෝදනා එල්ලවී තිබූ මෙම රියැදුරු බලපත‍්‍ර මුද්‍රණ ටෙන්ඩරය තවත් වසර දෙකක් සඳහා දීර්ඝ කිරීමට අදාළ ගිවිසුමකට ඊයේ (29) සවස අත්සන් තැබීමට නියමිතව තිබූ අතර අගමැතිවරයාගේ සෘජු මැදිහත්වීම නොවන්නට රටට තවත් මිලියන නවදහසකට වැඩි මුදලක් අහිමි වන්නට ඉඩ තිබිණි.
 
 මෙම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් ‘දිවයින’ පුවත්පත මගින් දිගින් දිගටම රටට හෙළිදරව් කරන ලදී. එහිදී අප දිගින් දිගටම පැවසුවේ එම දෙපාර්තමේන්තුව මගින් සිදු කළ හැකි මෙම කටයුත්ත විදෙස් සමාගම්වලට
 
 පැවරීම ජාතික අපරාධයක් බවයි. එසේම රට බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණපාමින් සිටින මේ මොහොතේ රජයේ ආදායම් වැඩි කළ යුතුව තිබියදී රජයට හිමිවිය යුතු ආදායම් විදෙස් රටවලට ගලායෑමට ඉඩදීම අපරාධයක් ලෙස ‘දිවයින’ සෑම විටම විශ්වාස කරන අතරම රාජ්‍ය අංශය ශක්තිමත් කරමින් දේශීය ආර්ථිකය හා දේශීය ව්‍යාපාරිකයා නගාසිටුවීම මෙරට ආර්ථික සංවර්ධනය උදෙසා අතිශය වැදගත් බව අපේ විශ්වාසයයි. ඒ වෙනුවෙන් වසර ගණනාවක් පුරා පෙනී සිටීම අපගේ ජාතික වගකීමක් කොට ගත්තෙමු.
 
 රියදුරු බලපත‍්‍ර ටෙන්ඩරය මගින් වාර්ෂිකව රුපියල් මිලියන 1850 කට වැඩි මුදලක් දකුණු අප‍්‍රිකානු සමාගමකට
 
 ලබා දෙන බව විගණන පරීක්ෂණවලින් ද හෙළිවී තිබූ අතර මෙය රජය මගින් සිදු කරන්නේ නම් ඒ සඳහා වැය වන්නේ මෙයින් සියයට දහයකටත් අඩු මුදලක් බව හෙළිදරව් වී තිබියදීත් ප‍්‍රවාහන අමාත්‍යාංශයේ හා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් පිරිසක් අවසන් මොහොත දක්වාම මෙය දීර්ඝ කිරීමට උත්සාහ දරන ලදී.
 
 2016 වසරේ රජයට පවරා ගත යුතු වූ මෙම ව්‍යාපෘතිය දූෂිත නිලධාරීන් කීපදෙනෙකු එක්ව දිගින් දිගටම රජයට පවරා ගැනීම ප‍්‍රමාද කරන ලදී. එසේ පවරා නොගැනීමෙන් මේ වන විට රජයට රුපියල් මිලියන පන්දහසකට අධික පාඩුවක් සිදුව ඇතැයි ගණන් බලා තිබේ. අප ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ සා විශාල මුදලක් රටට අහිමි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ඒ රටට අහිමි වූ මුදල යළි අයකර ගන්නා ලෙසටය.
 
 මෙම රියැදුරු බලපත‍්‍රය මුද්‍රණය කිරීමේ කටයුත්ත මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවටම කළ හැකි බව එම දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ අදහසයි. ඒ සඳහා මේ වන විට අදාළ යන්ත‍්‍ර සූත‍්‍ර පවා රජයට හිමිවී ඇති අතර එය පහසුවෙන් කළ හැකි බව මේ වන විට එහි සේවකයන් දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් පවා දැනුවත් කර තිබේ.
 
 රියැදුරු බලපත‍්‍රයක් මුද්‍රණය සඳහා රුපියල් අනූවත් සීයත් අතර මුදලක් වැය වෙද්දී මේ එක කාඞ්පතක් සඳහා ශ‍්‍රී ලංකා රජය විසින් දකුණු අප‍්‍රිකානු සමාගමට මෙතෙක් ගෙවන මුදල රුපියල් 1340 කි. නව ගිවිසුම යටතේ ඒ සඳහා රුපියල් දහසක් බැගින් ලබාදීමට නියමිතව තිබිණි. කෙසේ හෝ අවසානයේ අගමැතිවරයාගේ මැදිහත්වීම නිසා ඒසා සුවිශාල මුදල රටට ඉතිරි කළ සේම සේවකයන් සම්බන්ධ කරගෙන මෙම කටයුත්ත ඉදිරියට කර ගෙන යෑමට ද අගමැතිවරයා මැදිහත් විය යුතුව තිබේ. එසේ නොවුණහොත් අමාත්‍යාංශ මට්ටමේ දූෂිතයන් මෙය අවුල් කර දමනු ඇත.
 
 එසේම රියැදුරු බලපත‍්‍රය නිකුත් කර වසර එකොළහක් ගතවී ඇතත් එහි චිපය පරීක්ෂා කිරීමේ යන්ත‍්‍ර තවමත් මෙරටට ගෙන්වා නොමැත. එම නිසා මේ චිප් පරීක්ෂාවට ද ලක්ව නැත. එහෙත් අපේ රටේ ජනතාව ඒ වෙනුවෙන් වසර එකොළහක් තිස්සේ රුපියල් බිලියන ගණනක් අදාළ දකුණු අප‍්‍රිකානු සමාගමට ගෙවා තිබේ. එසේ ගෙවන ලද අමතර මුදල් නැවත අයකර ගැනීමට රජය මැදිහත්වීම සුදුසු බව අපගේ අදහසයි.
 
 විද්‍යුත් ජාතික හැඳුනුම්පත ආණ්ඩුවෙන්ම මුද්‍රණය කිරීමට ජනාධිපතිවරයාගේ තීරණය අනුව රජය කටයුතු කළ සේම රියැදුරු බලපත‍්‍රය මුද්‍රණය ද මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා සිදු කිරීම තුළ අපේ රටේ රාජ්‍ය අංශය තවදුරටත් ශක්තිමත් වනු ඇත. රජය දැඩි ලෙස වියදම් සීමා කර ඇති මේ මොහොතේ මෙවැනි ව්‍යාපෘති රජය මගින් සිදු කිරීම හරහා රටට ඉතිරි වන මුදල සුවිශාලය.
 
 රියැදුරු බලපත‍්‍ර ටෙන්ඩරය දකුණු අප‍්‍රිකානු සමාගමට
 
 දීර්ඝ කිරීමේ උත්සාහයට විරෝධය පළකරමින් රජයට අයත් මෙරට ප‍්‍රධානතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය වන ICTA හෙවත් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන සංජීව වීරවර්ණ මහතා පසුගිය දිනවල ඉල්ලා අස්විය. සිය තනතුරින් ඉල්ලා අස්වෙමින් ඔහු සඳහන් කර තිබුණේ එම ආයතනයේ තීරණ හා කටයුතු රටේ හා ජනතාවගේ අවශ්‍යතා හා වර්තමාන ලෝක තත්ත්වයන්ට හා වර්තමාන තාක්ෂණයට අනුව සිදු නොවන බවත්, ඉතාම ඉහළ මිල ගණන්වලට වසර විස්සකට වඩා පැරණි තාක්ෂණ ක‍්‍රම මිලදී ගන්නා බවත්ය.
 
 මෙරට සියලූම තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති හා රජයේ දෙපාර්තමේන්තු සහ සියලූ රාජ්‍ය ආයතනවල සියලූ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති අධීක්ෂණය හා මෙහෙයවීම ICTA ආයතනය මගින් සිදු කරන්නට ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජය තීරණයක් ගෙන ඇති නිසා ඔහු පෙන්වාදී ඇති කරුණු සම්බන්ධයෙන් රජය දැඩි අවධානයක් යොමු කළ යුතුය.
 
 රටට, ජනතාවට හෝ රජයට සේවාවක් සිදුවන ආකාරයට යල් පැනගිය තාක්ෂණ ක‍්‍රම භාවිත කරන සමාගම්වලට මෙරට රජයේ ප‍්‍රධානතම ව්‍යාපෘති ඉතාම ඉහළ මිල ගණන් යටතේ පිරිනැමීම වහාම නතර කරන්නට රජය කටයුතු කළ යුතුව තිබේ.
 
 රාජ්‍ය අංශය ශක්තිමත් කරන අතරම මෙරට මිලදී ගැනීම්වලදී දේශීය ආයතනවලට ප‍්‍රමුඛතාවය ලබා දීමත් දේශීය වශයෙන් හැකි සියලූ දේ මෙරට නිෂ්පාදනය කරන්නට කටයුතු කිරීමකින් තොරව ශ‍්‍රී ලංකාව දියුණු කළ නොහැකි බවත් අප අවසාන වශයෙන් රජයට මතක් කර සිටින්නෙමු.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles