Divaina - රට ගොඩනඟන මහා පිංකම

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

කොස්ස, ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කිරීම කර්මාන්තකරුවන්ගෙන් අපේක්‍ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය දිනෙක අවධාරණය කර තිබිණි. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කර තිබුණේ ක්‍ෂේත‍්‍ර  රැසක කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවකදීය.
 
 කර්මාන්තකරුවන්ගේ සහායට රාජ්‍ය යාන්ත‍්‍රණයෙන් සියලූ ආයතන පෙළගස්වන බව ද එසේම තනි අංක පොලී අනුපාතිකයකට බැංකු ණය සම්පාදනය කරන බව ද කර්මාන්තකරුවන් හමුවේ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබිණි.
 
 දේශීය කර්මාන්ත නඟා සිටුවීම ජනාධිපතිවරයා අවධාරණය මෙම නව ප‍්‍රවේශය පිළිබඳව අප රටක් ලෙස සතුටු වීමට පුළුවන. කාලයක් අපේ රටේ දේශීය කර්මාන්ත වළපල්ලට ගියේ ඒ සඳහා රාජ්‍ය යාන්ත‍්‍රණය නිසි ලෙස ක‍්‍රියාත්මක නොවීම හේතුවෙනි. පසුගිය කාලය පුරා ඇල්පෙනිත්ත, බොත්තම වැනි ඉතා අල්ප තාක්‍ෂණය ඔස්සේ නිපදවිය හැකි දේ ද අප ගෙන්වාගනු ලැබුයේ පිටරටිනි. එපමණක් නොව රට වටේට මුහුද ඇතත් අප තවමත් ටින් මාළු ආනයනය කිරීමට වාර්ෂිකව මිලියන දහස් ගණනක් වැය කරති. ඉතා පහසුවෙන් අප රටේ නිෂ්පාදනය කළ හැකි කුළුබඩු ඇතුළු බොහෝ ආහාර වර්ග ආනයනය කරනු ලැබේ. පහසුවෙන් අප රටේ දියර කිරි නිෂ්පාදනය කළ හැකි වුවත් තවමත් ඒ සඳහා ක‍්‍රමානුකූල නිශ්චිත වැඩසටහනක් කිසිම රජයක් ක‍්‍රියාත්මක කර නැත.
 
 මෙලෙස ආනයනය කරනු ලබන අති විශාල භාණ්ඩ සඳහා වාර්ෂිකව වැයවන බිලියන ගණනක මුදල ඉතිරි කරගත හැකිනම් වැටී ඇති රට ඉහළට ඔසවා තැබීමේ හැකියාව වැඩි ඈතක නොවනු ඇත.
 
 විශේෂයෙන් කොරෝනා වසංගතය හමුවේ මුළු ලෝකයම ලොක්ඩවුන් වෙද්දි රටේ නිෂ්පාදන ක‍්‍රියාවලියක වැදගත්කම මෙන්ම ස්වයංපෝෂිත ආර්ථිකයක ඇති වටිනාකම අප රටට යළි පසක් කර දී තිබිණි.
 
 ජනාධිපතිවරයාගේ මෙම උත්සාහය මල්ඵල ගැන්වීමට නම් අප රටේ රාජ්‍ය නිලධාරීන් ද ඊට සමගාමීව සිය මෙහෙවර රට වෙනුවෙන් කිරීමට සූදානම් විය යුතුය. අප රටේ බොහෝ නිලධාරීන් තමන්ගේ කාලය, ශ‍්‍රමය හා දැනුම උපරිමයෙන් ලබාදෙන බවක් දක්නට නොලැබේ. විශේෂයෙන් අප රටේ ආර්ථිකය මෙහෙයවීමේ මර්මස්ථානයක් ලෙස සැලකෙන මහ බැංකුවේ නිලධාරීන්ට තදින් කතා කර ඔවුන්ව අවදි කිරීමට ජනාධිපතිවරයාට සිදුවන්නේ මෙවන් පසුබිමකය. මහ බැංකුව පමණක් නොව අප රටේ බොහෝ රාජ්‍ය ආයතනවල ඉහළ පුටු හොබවන සමහර නිලධාරීන් ක‍්‍රියාකරනුයේ නින්ද්‍රාශීලී ස්වභාවයෙනි. කොරෝනා වසංගතයත් සමග වැටී ඇති අප රට යළි ගොඩනැඟීමට මේ නිද්‍රාශීලී ස්වභාවයෙන් මිදිය යුතුමය.
 
 මේ රටේ රාජ්‍ය අංශයේ වේවා පෞද්ගලික අංශයේ වේවා සියලූ දෙනා රට ගොඩනැඟීමේ උත්තුංග කාර්යයට වෙර වීර්යයෙන් කැපවිය යුතුය. විශේෂයෙන් අප රටේ අනාගතය හෙට භාර ගැනීමට සිටින දරු පරම්පරාවට අතීතයට දොස් නොකියන ලෙසට කටයුතු කිරීම වැඩිහිටි අප සැමගේම අභිලාෂය විය යුතුය.
 
 උපන් රටට ණය නොවී තමන්ගේ වටිනා කාලය රට වෙනුවෙන් කැපකළ බවට යම් අයකුට සතුටු විය හැකිනම් ඊට වඩා මොලොවෙදී ලැබිය හැකි තවත් සතුටක් නොමැත. රට ගොඩනැඟීමේ මහා පිංකමට දායක වන්නැයි අප මේ රටේ සෑම පුරවැසියෙක්ගෙන්ම ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles