Divaina - පාතාලයට බෙහෙත් දෙන්න

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ඇඟකිළිපොලා යන පාතාලයේ මාෆියා ගේම් පිළිබඳව එකල අප තොරතුරු හා පසුබිම් කතාන්දර දැනගත්තේ පොත-පත තුළිනි. විටෙක ඒවා පත්තරවලට රසවත් කතා මවන කතා නාටක බවට පත්වූ අතර, ගිනිකෙළි මෙන්ම ගිනි අවි ගැන පොත් ගණන් ලියැවුණු කාලයක්ද තිබිණි. එනමුත් මේ අන්ඩර් වර්ල්ඞ් ගේම් අද සජීවී ස්වරූපයෙන්ම අපේ සාලයේ රූපවාහිනී තිර මත දිගහැරෙන තරමට සුලභ වී ඇත. ඒ සී.සී.ටී.වී. තාක්ෂණය වැනි නූතන මාධ්‍ය පැමිණීමත් සමගය. මෙම තාක්ෂණයම පාතාල අපරාධකරුවන් මඬින්නට මහත් රුකුලක් වී තිබීම ද එක අතකින් සතුටුවන්නට හැකි කාරණයකි.
 
 බිහිසුණු චිත‍්‍රපට මෙන් රඟ දැක්වෙන පාතාල අපරාධ කීයක් නම් පසුගිය කාලයේ අපට මෙසේ
 
 දැකගන්නට ලැබුණේද...? එහි අලූත්ම ජවනිකා නම්, පාතාල සාමාජික කංජිපානි ඉම්රාන් නමැති කුඩුකාරයාගේ පියාට මහමගදී සිදු කළ අමානුෂික පිහි ඇනුම, ත‍්‍රීවීල් රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මරාදැමීම හා මොරටුව සොයිසාපුරදී අවන්හලකට එක දිගට එල්ල වූ මැර ප‍්‍රහාරය යනාදියයි. දකුණු ඉන්දීය චිත‍්‍රපටවල ජවනිකා සිහිගන්වන මෙවන් බිහිසුණු හා අමානුෂික සිද්ධීන් තවත් මේ රටේ සිදුවීමට ඉඩ තැබිය යුතු දැයි මෙරටේ පාලකයන් වහා තීන්දු ගත යුතුය. සිපිරි ගේ තුළ සිට හා පිටරටක සැඟවී සිට මෙරට අපරාධ මෙහෙයවන්නට තරම් පාතාලය බලවත් වී නම් ඒ ගැන කතා කරන්නට තවත් දේ ඉතිරිව නැත.
 
 මේවාට ගොදුරු වන හෝ සම්බන්ධ පුද්ගලයින් කවුරුද යන්නටත් වඩා, මෙවන් සිදුවීම් කිසි ලෙසකින්වත් ශිෂ්ට සමාජයක් අනුමත නොකරන බව පිළිගත යුතුය. එසේම, අමානුෂික අයුරින් මිනිසුන්ට පහරදීම, මරාදැමීම, පැහැරගෙන යෑම ශ‍්‍රී ලංකාව නම් ධර්මද්වීපය කොයි තරම් වළපල්ලකට ඇද දමා ඇද්දැයි මේ රූප රාමු තුළින් අපට පසක් කරවයි.
 
 මහමග දෙනෝ දාහක් බලාසිටිද්දී සිදු කෙරෙන මනුෂ්‍ය ඝාතන හා පහරදීම්, වෙඩි තැබීම් හෝ බෝම්බ ප‍්‍රහාර එල්ලකිරීම අද එළිපිටම සිදුකෙරෙන, සුලබ, බලවත් ත‍්‍රස්ත ක‍්‍රියාවක් බවට පත්ව ඇත. මේවාට ප‍්‍රධාන හේතුව හෙරොයින් ඇතුළු මත් ජාවාරම් සඳහා පවතින බල අරගලයයි. පසුගිය කාලය පුරා අත්අඩංගුවට පත්වූ ටොන් ගණනක මත්ද්‍රව්‍ය තොග මේ බල අරගලයේ සැබෑ තත්ත්වය පිළිබඳව අපට ඉඟි කරයි. එනම්, මත්ද්‍රව්‍ය ජාවාරම වූ කලී සමාජ අපරාධ දරුණු ලෙස වර්ධනය කරන පිළිලයකි. එසේ හෙයින් පළමුව රජය විසින් කළ යුතුව ඇත්තේ මේ මත් ජාවාරමට වහා තිත තැබීමය. රජය ඒ සඳහා පියවර ද ගනිමින් සිටී. රජය මොන තරම් පියවර ගත්තද ඊට බාධා වන අයුරින් නිලධාරීන් ක‍්‍රියාකරන අයුරු ආරක්ෂක ලේකම්වරයා, නීතිපතිවරයා සහ ජනාධිපතිවරයා ද ඉතා හොඳින් දැනටමත් පසක් කර ඇත.
 
 එල්.ටී.ටී.ඊ ය වැනි බලගතු ත‍්‍රස්තවාදී කල්ලි, කණ්ඩායම් පවා බිහිවූයේ සමාජ අපරාධවලට සම්බන්ධ සුළු සුළු පාතාල කල්ලි තුළින් බව මේ මොහොතේ අප අමතක කළ යුතු නැත. අද උතුරේ ආවා කල්ලි කරන්නෙත්, කංජිපානිලා, පූකුඩුකන්නලා,
 
 ගොනාකොවිලේ අංජුලා එසේත් නැතිනම් මාකඳුරේ මධුෂ්ලා කරන්නෙත් එකම ආකාරයේ රංගනයන්ය. මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් මුදල් උපයාගෙන යමක් කමක් කරන්නට පුළුවන් තරමට බලවත් වන ඔවුහු, ඉන් පසු සමාජය ත‍්‍රාසයෙන් මුසපත් කර තම අරමුණු ඉටු
 
 කරගැනීමට කටයුතු කරන්නේ මිනිස් ජීවිත තුට්ටුවකටවත් සලකා නොවේ. එසේ හෙයින් අප අවධාරණය කරන්නේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරමට මොහොතකටවත් සමාවක් දිය යුතු නැති බවය.
 
 තිස් අවුරුද්දක් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තයන්ට නතුව තිබූ මෙරටේ ත‍්‍රාසය තුරන්ව ගියේ වර්තමාන ජනාධිපතිවරයා නායකත්වය දුන් යුදමය ක‍්‍රියාදාමයක් තුළින් නිසා වත්මන් රජයට මේ පිළිලය අකා මකා දැමීම ගැටලූවක් නොවන බවට ජනතාවට විශ්වාසයක් තිබේ. විටෙක කුඩු පාතාලය මේ දඟලන්නේ බොහෝ විට දිය සැලිය රත්වන තුරු පමණක් බව අපට දැනේ. දැන් ඇත්තේ පිටරට සිට ජාවාරම් මෙහෙයවන පාතාලයින්ද ජීවග‍්‍රහයෙන් අල්ලාගෙන විත් දඟගෙයි ලෑම හා දැනටමත් දඟගෙයි සිටින්නන්ට අවශ්‍ය බෙහෙත් ලබාදීමය.
 
 එහෙත්, ඊයේ (19දා* කොළඹ බන්ධනාගාර මූලස්ථානයට පැමිණි නීතිපති දප්පුල ද ලිවේරා මහතා කීවේ අප රටේ බන්ධනාගාර යනු අපරාධකාරයින් රඟන ක‍්‍රීඩාපිට්ටනි බවයි. ඒ තරමටම අපරාධකරුවන්ට සුරක්ෂිත හා අපරාධ මෙහෙයවන මධ්‍යස්ථාන බවට පත්ව තිබෙන මෙවන් ස්ථාන හා ඒවාට උඩගෙඩි දෙන නිලධාරීන් සිටින තාක් මෙරටේ පාතාලය මැඬලීම සිහිනයකි. බන්ධනාගාර තුළ පවතින ප‍්‍රශ්නවලට දැනටමත් රජයෙන් ප‍්‍රතිකාර ලැබෙමින් පැවතීමද සතුටට කරුණකි. ඒ සඳහා ඉහළ පෙළේ මැදිහත්වීම සෘජුවම ලැබෙමින් පවතින අතර නව කොමසාරිස් ජනරාල්වරයකු ද පත්කර බන්ධනාගාර පද්ධතිය සෘජුවම ආරක්ෂක ලේකම්වරයාගේ අධීක්ෂණයට බඳුන් වී ඇත.
 
 එසේ වුවත් රජයට අපට අවධාරණය කරන්නට ඇති දේ නම් රටේ පාතාලය පිළිබඳ හා මත්ද්‍රව්‍ය පිළිබඳ මෙම බලගතු ප‍්‍රශ්නය තවත් රජයකට හෝ තවත් රාජ්‍ය නායකයකුට ඉතිරි කිරීම නුවණැති දෙයක් නොවන බවය.

 


 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles