Divaina - ‘‘මැජික් සංදර්ශන’’ එපා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 ශ‍්‍රී ලංකාවේ 8 වැනි ජනාධිපතිවරණය සඳහා දින ළං වෙද්දී ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන අපේක්‍ෂකයෝ පිළිබඳ සමාජය තුළ විශාල කතිකාවක් ගොඩනැගී තිබේ. විධායක ජනාධිපතිවරුන් හත් දෙනකු බිහි කළ එක්සත් ජාතික පක්‍ෂයට හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට තමන්ගේ අපේක්‍ෂකයන් නම් කිරීම, ජනාධිපතිවරණයට පෙර පක්‍ෂයේ බෙදීම් ඇති කිරීමේ අර්බුද දක්වා දුර දිග ගොස් තිබේ. ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව රටේ ප‍්‍රධාන පක්‍ෂ සම`ග සන්ධානගත වීමට සිටින අනෙකුත් දේශපාලන පක්‍ෂවලට අත්වී ඇත්තේ මෙවැනිම ඉරණමකි. රටේ සියලූම දේශපාලන පක්‍ෂ විසින් තමන්ගේ අර්බුද ජනාධිපතිවරණය ජයග‍්‍රහණය වෙනුවෙන් කළමනාකරණය කරගැනීමට සමත් වුවද එම ක‍්‍රියාවලියෙන් බලයට පත්වන ජනාධිපතිවරයාට රටේ අර්බුද කළමනාකරණය කළ හැකිද යන්න ගැටලූවකි.
 
 රටේ සාම්ප‍්‍රදායික දේශපාලන ක‍්‍රමය මේ මොහොතේ පවතින්නේ කරදියාන කුණු කන්දට වඩා දුගඳ හමන තැනකය. රටේ ජනතාව දිගින් දිගටම සාම්ප‍්‍රදායික දේශපාලනය ප‍්‍රතික්‍ෂේප කරමින් සිටින්නේ ඒ නිසාය. නිදහසින් පසු ගතවූ වසර 72 ක කාලය තුළ රට පාලනය කළ කිසිදු දේශපාලන පක්‍ෂයකට රටේ දැවෙන අර්බුදවලට විසඳුම් ලබා දීමට නොහැකි විය. ඔවුන් සියලූ දෙනාම දියත් කළේ සුභ සාධන ක‍්‍රියාවලිය මත පදනම් වූ මැතිවරණ ව්‍යාපාරයකි. එම මැතිවරණ ව්‍යාපාරයේ මූලික අරමුණ වූයේ රට ජයග‍්‍රහණය කිරීම නොව වැඩිවාර ගණනක් රටේ බලය පක්‍ෂය වෙත රඳවා ගැනීමය. මේ මොහොත දක්වා රටේ ප‍්‍රධාන පක්‍ෂ දෙක කටයුතු කරමින් සිටින්නේ මේ තියරියය. ඔවුන්ගේ බල පෙරළි අවසන් වූයේ රටට ඔරොත්තු නොදෙන ණය බරක් සහ ලක්‍ෂ පහළොවකට ආසන්න අකාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් රටට ඉතිරි කරමිනි.
 
 අද වන විට ශ‍්‍රී ලංකාවේ ණය බර රුපියල් ටි‍්‍රලියන 11.3 කි. එය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 63 ක් පමණ වේ. ශ‍්‍රී ලංකාව ඉතිහාසයේ වැඩිම ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක් ගෙවා දමනු ලැබුවේ මේ වසරේදීය. ඛේදවාචකය වන්නේ මේ සා විශාල ණය මුදලක් අප ගෙවමින් සිටින්නේ රටේ ජාතික ආදායමෙන් නොව තවත් ණය ලබාගනිමින් වීමය.
 
 ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍යයෙන් නිදහස් වූ 1948 වසර වනවිට ශ‍්‍රී ලංකාවේ ණය බර වූයේ දළ ජාතික නිෂ්පාදිතයේ (GDP) ප‍්‍රතිශතයක් ලෙස 16% කි. අද වන විට එය 82% දක්වා ඉහළ ගොස් තිබේ. ජපානය වැනි රටක මෙම ප‍්‍රතිශතය 253% කි. වෙනස වන්නේ අප ජාතික ආදායම ලෙස ඩොලර් බිලියන 87 ක් උපයද්දී ජපානය ඩොලර් ටි‍්‍රලියන 4.8 ක් ඉපයීමය. ණය ලබා ගැනීම ආර්ථික ක‍්‍රියාවලියේ කොටසක් වුවද ශ‍්‍රී ලංකාව වැනි දිළිඳු ආර්ථිකයට එය කිසිසේත්ම ඔරොත්තු නොදෙන බව මින් ඉතා පැහැදිලිය.
 
 රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීම ප‍්‍රධාන පක්‍ෂ දියත් කළ ප‍්‍රතිපත්තීන් අවසානයේ නතර වූයේ අච්චාරුවක් බවට පත් වෙමිනි. පෞද්ගලීකරණයට එරෙහි වූ ශ‍්‍රීලනිපයත්, එය දෙකට නැමී පිළිගත් එජාපයත් රටේ වැදගත් ආර්ථික මර්මස්ථාන සියල්ලම සින්නක්කර සහ බදු ඔප්පු වශයෙන් විදේශ රටවලට විකුණා දමා තිබේ. මේ දෙපක්‍ෂයම රටේ ආර්ථික සම්පත් සියල්ලම පාක්‍ෂිකයන්ගේ ආදායම් මාර්ග බවට පත්කර ඇත්තේ අසරණ බදු ගෙවන ජනතාව ආර්ථික කුලී ඝාතකයන්ගේ ගොදුරු බවට පත් කරමිනි. ගමේ සමුපකාරයේ සිට මහ බැංකුව දක්වා කොල්ල කන ලද්දේ මේ ආර්ථික ඝාතකයන් විසිනි. මෙහි භයානක කම වන්නේ මේ ඝාතකයන් ආර්ථිකය පමණක් නොව රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ක‍්‍රියාවලියද හසුරුවමින් සිටීමය.
 
 මෙවැනි ව්‍යසනකාරී මාවතක් වෙත ගමන් කරමින් තිබෙන රාජ්‍යයක පාලනය භාර ගන්නා නායකයකු ජයගත යුතු අභියෝග බොහෝය. පාස්කු ප‍්‍රහාරයෙන් පසු බිහිවී ඇති සමාජීය අර්බුද එම අභියෝග තවත් තීව‍්‍ර කර තිබේ. මහ බැංකු වාර්තාවලට අනුව 2019 සිට 2022 දක්වා අතර කාලයේ ශ‍්‍රී ලංකාව ගෙවා දැමිය යුතු විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 21 කි. මෙවැනි ණය උගුලක සිරවී සිටින රටකට අත්‍යවශ්‍ය දේ සාමය හා සහජීවනයය. ඊළඟ ජනාධිපතිවරයා බලයට පත් කරනු ලබන බව කියන සුළු ජාතික ඡුන්ද හෝ බහුතර ඡුන්ද කියා ඡුන්ද දෙවර්ගයක් රටේ නැත. ඇත්තේ ශ‍්‍රී ලාංකික ඡුන්ද පමණි. ජනාධිපතිවරණය වෙනුවෙන් තරග වදින අපේක්‍ෂකයන්ගේ ප‍්‍රතිපත්ති සකස් විය යුත්තේ සමස්ත ශ‍්‍රී ලංකාවාසීන්ගේ අනාගතය යහපත් කිරීම උදෙසාය. මෙහිදී වඩා වැදගත් වන්නේ අපේක්‍ෂකයා නොව ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන වැඩපිළිවෙළය. එය රටේ යථාර්ථය තේරුම් ගෙන සැකසූ ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් විය යුතුය. 2019 ජනාධිපතිවරණ වේදිකාව ජනතාවට අනාගත සිහින පෙන්වන ‘‘මැජික් සංදර්ශනයක්’’ බවට පත් නොකිරීමට අපේක්‍ෂකයන් වගබලා ගත යුතුය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles