Divaina - සිංගප්පූරු රෝහලේ ප‍්‍රතිකාර ලැබූ වෛද්‍ය වාර්තා පාස්කු කොමිසමට ඉදිරිපත් කිරීමට මෛතී‍්‍රට නියෝග

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fassku- වාර්තාවල තිබුණට බෝම්බ ප‍්‍රහාරය ගැන මා දැනුවත් කළේ පිපිරීම්වලට පසුවයි - පූර්ව දැනුවත් කිරීමේ තොරතුර දැනුම් දුන්නේ නැහැ

- හිටපු ජනාධිපති මෛතී‍්‍ර කියයි

- පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම

අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ  සිංගප්පූරුවේ රෝහලක රැුඳීසිටිමින් ප‍්‍රතිකාර ලබාගැනීමට අදාළ වෛද්‍ය වාර්තා ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරන ලෙස පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පෙරේදා (24දා) නියෝග කළේය.

කොමිසම එසේ නියෝග කළේ එම ප‍්‍රහාරය එල්ල වූ දින සහ ඊට පෙරදින හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර පැවති දුරකථන සම්බන්ධතා කොමිසමේදී ප‍්‍රශ්නගත වූ අවස්ථාවේදීය.

මේ අතර පාස්කු ඉරු දින ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වීමට මිනිත්තු 46 කට පෙර

සිංගප්පූරුවේ සිටි හිටපු ජනාධිපතිවරයා එවකට මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට දුරකථන ඇමතුමක් ගෙන ඇති බව ජනාධිපති කොමිසමේදී පෙරේදා අනාවරණ විය.

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරයාව සිටි හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා 06 වන දිනටත් ජනාධිපති කොමිසමට පැමිණි අතර එහිදී මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා හරස් ප‍්‍රශ්න විමසීය.

එහිදී ජනාධිපති නීතිඥවරයා, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හිටපු ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්න කළ අවස්ථාවේ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නගන ලද ප‍්‍රශ්නයක් කෙරෙහි හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය.

එම ප‍්‍රශ්නය යොමු කිරීමත් සමග විවෘත කොමිසම හමුවේ කරුණු දක්වමින් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ, ‘‘ස්වාමිනී, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු මම පිළිගන්නේ නැහැ. මම ඒකට සාක්ෂි දෙන්න ගියෙත් නැහැ. අවශ්‍ය නම් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිත් හම්බවෙන්න කිව්වා. දැන් ඔබතුමා ඔය ප‍්‍රශ්නෙදි ඇහුවෙ, සරත් ෆොන්සේකා මහත්මයාට මාත් එක්ක පෞද්ගලික වෛරයක් තියෙනවා. ඒ තේරීම් කාරක සභාවේ ඉඳපු අනිත් සාමාජිකයනුත් මාත් එක්ක පෞද්ගලික වෛරයකින් ඉඳපු අය. මම ඒ හමුවේ ප‍්‍රකාශයක් කරලා තියෙනවා නම් ඒ ප‍්‍රකාශය විතරක් හරි. නමුත් ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මම ගැන නිර්දේශ කරලා තියෙනවා නම් මම ඒවා පිළිගන්නේ නැහැ,’’ යනුවෙනි.

මෙහිදී ජනාධිපති නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාගෙන්, ‘‘ඔබ 2019 වර්ෂයේ දෙසැම්බර් මස 24 වැනිදා නීතිය හා සාමය අමාත්‍යාංශය ඔබ යටතට ගත්තේ ඔබව ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් පවතිනවා යැයි සමාජය හමුවේ මතයක් පැවති නිසාදැයි විමසා සිටියේය.

එහිදී ‘‘නැහැ ස්වාමිනී, මම එය ප‍්‍රතික්ෂේප කරනවා,’’ යැයි හිටපුජනාධිපතිවරයා පැවසීය.

‘‘ඔබ කොමිසම හමුවේ සාක්ෂි දුන්නා, ඉකුත් වසරේ අපේ‍්‍රල් 04 විදෙස් බුද්ධි අංශයකින් මෙම ප‍්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමක් කරලත් ඔබ විසින් අපේ‍්‍රල් 08 දින පැවැත්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ රැුස්වීමේදී කිසිදු නිලධාරියකු පූර්ව දැනුවත් කිරීමේ තොරතුර ගැන දැනුම් දුන්නේ නැහැ කියලා. ඒ පිළිබද පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ?’’ යැයි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා මෙහිදී විමසීමක් කළේය.

‘‘ඔව් ස්වාමිනී, කිසිවකු එම රැුස්වීමේදී ඒ වනවිටත් ලැබී තිබුණු පූර්ව දැනුවත් කිරීමේ තොරතුර ගැන කිව්වේ නැහැ. ඒ වෙද්දිත් පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිටි නිලධාරීන් රැුසක් මේ ගැන දැනං ඉඳලා තියෙනවා. නමුත් මට කිව්වේ නැහැ. තොරතුර ගැන දැනගත්තා නම් මම රට යන එක නවත්වනවා,’’ යැයි හිටපු ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේය.

‘‘රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි දෙමින්, මේ කොමිසම හමුවේ කියා සිටියා අපේ‍්‍රල් 04 විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුර ගැන අපේ‍්‍රල් 11 වෙද්දි ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු 15,000ක දෙනා දැනගෙන හිටියා කියලා. ඔබ ඒ ගැන මොකක්ද හිතන්නේ,’’ යැයි ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේය.

‘‘15,000 ක් දැනගෙන හිටියද කියලා නිශ්චිත වශයෙන්ම මම දන්නේ නැහැ. නමුත් 15,000ක් දැනගත්තා කිව්වට එවකට ජනාධිපති ආරක්ෂක අංශ ප‍්‍රධානියා වෙච්ච ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා මහතාවත් දැනගෙන හිටියේ නැහැ,’’ යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

‘‘ඒක පිළිගන්න පුළුවන් කතාවක්ද..? ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළුව 15,000 දෙනා දැනන් ඉඳපු දෙයක් රටේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා වන ඔබතුමා දැනන් හිටියේ නැහැ කියන එක,’’ යැයි ජනාධිපති නීතිඥවරයා පෙරළා ප‍්‍රශ්න කළේය.

‘‘මම දන්නේ නැහැ ඒක,’’ යැයි හිටපු ජනාධිපතිවරයා ඊට කෙටියෙන් පිළිතුරු දුනි.

එහිදී ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ, ‘‘ඔබ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරපු නිලන්ත ජයවර්ධන මහතාට කියා තිබුණා නේද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් තිබුණොත් ඔබව සෘජුවම දැනුවත් කරන්න කියලා. ඉතිං මේ තොරතුර ගැන ඔබව ඔහු දැනුවත් කළේ නැද්ද..?’’ යන්න ය.

‘‘ඔව්, මම ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජයවර්ධන මහත්මයාට එහෙම දැනුම් දීලා තිබුණා. නමුත් පාස්කු ඉරුදින මේ අවාසනාවන්ත සිදුවීම වෙනකන්ම කිසිවකුත් මාව මෙවැනි දෙයක් ගැන දැනුවත් කළේ නැහැ,’’ යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

‘‘ඔබ නිලන්ත ජයවර්ධන මහතා සමග දෛනිකව දුරකථනයෙන් සම්බන්ධ වීම පුරුද්දක්ව පැවතියාද?’’ යැයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී විමසීමක් කළේය.

‘‘නැහැ එහෙම දිනපතා දුරකථන සම්බන්ධතා පැවැත්වූවේ නැහැ,’’ යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

‘‘ඔබ එහෙම කිව්වට 2019 ජනවාරි මාසේ 01 වෙනිදා ඉඳලා අපේ‍්‍රල් 31 වෙනිදා වෙනකන් නිලන්ත ජයවර්ධන මහතා සහ ඔබතුමාගේ පැජට් පාරේ පිහිටි නිවස අතර දුරකථන ඇමතුම් 221 ක් පැවති බවට දුරකථන වාර්තා තියෙනවා,’’ යැයි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා හිටපු ජනාධිපතිවරයාගේ අවධානයට දුරකථන වාර්තා යොමුකර සිටියේ ය.

එහිදී හිටපු ජනාධිපතිවරයා, ‘‘වාර්තාවල තිබ්බට මට නම් මතකයක් නැහැ, මෙච්චර ඇමතුම් ගත්තා කියලා. නිලන්ත ගෙදරට ගත්තද මම දන්නේ නැහැ. හැබැයි මට ඔච්චර ඇමතුම්වලට පිළිතුරු දෙන්න වෙලාවක් තිබ්බේ නැහැ,’’ යැයි පැවසීය.

‘‘ඒ වුණාට හිටපු ජනාධිපතිතුමනි, ඇමතුම්වලට අදාළ දත්ත වාර්තා මේ ලේඛනවල තියෙනවානේ. ඉතිං ඒවා නිවැරදි නැහැ කියන්න පුළුවන්ද..?’’ යැයි ජනාධිපති නීතිඥවරයා පෙරළා විමසීය.

‘‘මට ඔය තාක්ෂණික කරුණු ගැන අවබෝධයක් නැහැ. මම දුරකථනයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මට ඔය වාර්තා තේරුම් ගන්න දැනුමක් නැහැ,’’ යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

මෙහිදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවස හරහා හිටපු ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇති අවස්ථාවන්ගේ දුරකථන වාර්තා තවවදුරටත් කොමිෂන් සභාවේ අධ්‍යනයට යොමුකරමින් ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ, ‘‘ඉකුත් වසරේ අපේ‍්‍රල් 01 - 21 අතර ඔබ සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අතර දුරකථන සම්බන්ධතා 20ක් පැවති බව මේ වාර්තාවලින් ඔප්පු වෙනවා. එවැනි වාතාවරණයකත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අපේ‍්‍රල් 04 බුද්ධි තොරතුර පිළිබඳව ඔබව දැනුවත් නොකළා කියලා විශ්වාස කරන්න පුළුවන්දැයි,’’ යන්න ය.

‘‘මට මේ දුරකථන වාර්තාවන් ගැන ලොකු අවබෝධයක් නැහැ,’’ යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දීමත් සමග ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා තම කනිෂ්ඨ නීතිඥවරයකු හිටපු ජනාධිපතිවරයාගේ සහායට යොමුකර තිබේ.

කෙසේ වෙතත් එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, ‘‘මේ වාර්තාවල තිබුණට මට මෙච්චර කතා කළා කියලා පිළිගන්න බැහැ. නිලන්ත පැජට් පාරේ මගේ නිල නිවසට ගන්න ඇති. ඒත් මම මෙච්චර කතා කළා කියලා පිළිගන්න බැහැ,’’ යන්න ය.

එහිදී ජනාධිපති නීතිඥවරයා යළිත් ප‍්‍රශ්න කළේ, ‘‘ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර, හෙට හෝ ඊට පෙර ප‍්‍රහාරයක් එල්ල වෙනවා යැයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාව විදෙස් බුද්ධි අංශය දැනුවත් කරන්නේ ප.ව 4.12 ට. ඒ වෙලාවෙන් පස්සේ පස්වරු 6.16ට නිලන්ත ජයවර්ධන මහතා ඔබට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව මෙම වාර්තාවල සඳහන් වෙනවා.’’ යන්න ය.

‘‘වාර්තාවල සඳහන් වුණාට මම ඒ වෙලාවේ හිටියේ

සිංගප්පූරු රෝහල් අභ්‍යන්තරයේ ප‍්‍රතිකාර ගනිමින්. මම මීට කලිනුත් මේ කොමිසමට කිව්වා. මට මේ බෝම්බ ප‍්‍රහාරය ගැන දැනුවත් කළේ පිපිරීම්වලට පස්සේ. ඊට කලින් මට කවුරුත් මේ ගැන කිව්වේ නැහැ,’’ යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

‘‘හිටපු ජනාධිපතිතුමා ඔබ 20 සවස සිංගප්පූරු රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටියා, දුරකථනය භාවිත කළේ නැහැ කිව්වාට. මේ වාර්තාවල සඳහන් වෙනවනේ එදින පැජට් පාරේ පිහිටි නිවස හරහා සිංගප්පූරුවේ සිටි ඔබේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ අත තිබූ ජංගම දුරකථනයට විශාල ඇමතුම් ප‍්‍රමාණයක් ගිහින් තියෙන බව,’’ යැයි ජනාධිපති නීතිඥවරයා පෙරළා ප‍්‍රශ්න කළේය.

‘‘මම ඇත්ත කියන්නේ. මම එදින හිටියේ සිංගප්පූරු රෝහලේ ප‍්‍රතිකාර ගනිමින්. මේ අවස්ථාවේ මාධ්‍ය ඉන්න නිසා මම ඒ වෙලාවේ ඉඳපු තත්ත්වය පැහැදිලි කිරීම සුදුසු නැහැ,’’ යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

‘‘හරි එහෙම් මේ දේ කියන්න, ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වූ පාස්කු ඉරුදින මෙරට තුළ පළමු බෝම්බ පිපිරෙන්න කලින් පෙ.ව 7.49ට සිංගප්පූරුවේ සිටි ඔබේ දුරකථනයෙන් පැජට් පාර හරහා නිලන්ත ජයවර්ධන මහතාට විනාඩියයි තත්ත්පර 38ක ඇමතුමක් ලැබී ඇති බව දුරකථන වාර්තාවල සඳහන් වෙනවා. ඔබ ඒ ගැන මොකද කියන්නේ,’’ යැයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් විමසා සිටියේ ය.

‘‘වාර්තාවල තිබුණා කිව්වට මම ඒක පිළිගන්නේ නැහැ. මම ඒ වෙද්දි ඉඳපු තත්ත්වය අනුව මට කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම මේ කියන්නේ සත්‍යය. අවශ්‍ය නම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නම්.’’ යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

‘‘හිටපු ජනාධිපතිතුමනි, ප‍්‍රහාරය සිද්ධ වුණ දවසේ උදෑසන ඔබ කතා කිරීමේ අපහසුතාවකින් පෙළුණා කියලා දැන් කිව්වට, එදින උදෑසන ඔබේ දුරකථනයෙන් විශාල ඇමතුම් ප‍්‍රමාණයකට සම්බන්ධ වී ඇති බවට වාර්තා තිබෙනවානේ,’’ යැයි හිටපු ජනාධිපතිවරයා වෙත යළිත් ප‍්‍රශ්නයක් යොමු විය.

එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වාර්තාවල සඳහන් වෙන්න පුළුවන් නමුත් මම ඒවා ප‍්‍රතික්ෂේප කරනවා යන්නය.

‘‘හරි දැන් ඔබතුමා කියනවා ප‍්‍රහාරය සිදුවුණ දවසේ ඔබතුමා කතා බහ කිරීමේ අපහසුතාවකින් පෙළුණා කියලා, ප‍්‍රහාරයට පෙර ඔබතුමා එහෙම අපහසුතාවකින් පෙළුණා නම් කොහොමද මේ ප‍්‍රහාරයෙන් පස්සේ එක ළඟ ඇමතුම් 07 ක් අරගෙන තියෙන්නේ,’’ යැයි ජනාධිපති නීතිඥවරයා යළිත් ප‍්‍රශ්න කළේය.

කෙසේ වෙතත් කාදිනල්තුමන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා දුරකථන වාර්තා සම්බන්ධයෙන් කළ මෙම දැඩි ප‍්‍රශ්නකිරීම හමුවේ කොමිෂන් සභාවේ නැගී සිටි හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා ශමිල් පෙරේරා මහතාට බාධා කරමින් ඔහු එකම ප‍්‍රශ්නය අසන බවට චෝදනා කළේය.

කෙසේ වෙතත් මේ තමන්ගේ ප‍්‍රශ්න ඇසීමේ වාරය බැවින් ජනාධිපති නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතාට නිශ්ශබ්දව අසුන් ගන්නා ලෙස පැවසූ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා යළිත් හිටපු ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්න කළේ, ‘‘ඔබතුමා ඔපමණ රෝගී තත්ත්වයකින්, අපහසුවකින් සිටියේ නම්, ප‍්‍රහාරය එල්ල වූ දින මධ්‍යම රාත‍්‍රියේම හදිස්සියේ දිවයිනට පැමිණියේ කෙසේද?’’ යන්න ය.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අවශ්‍ය නම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ හැකි බව පැවසුවද, එහිදී නැගීසිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එම ප‍්‍රශ්නය ඇසීම පිළිබඳ සිය විරෝධය පළ කළේය.

කෙසේ වෙතත් මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා හිටපු ජනාධිපතිවරයාට නියෝග කළේ, කිසියම් පුද්ගලයකුගේ වෛද්‍ය වාර්තා පෞද්ගලික වුවද, උද්ගතව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය නොමැති අවස්ථාවක එම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසය. මෙහිදී සිය හරස් ප‍්‍රශ්න ඇසීම අවසන් කරමින් කාදිනල්තුමන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා යෝජනා කර සිටියේ, ‘‘කතෝලික ජනතාවද ඇතුළුව ජීවිත 300 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය වූ මෙම ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම කෙරෙහි වගකිවයුතු ප‍්‍රධානියා ඔබ නොවන්නේද?’’ යන්නය. එම චෝදනාව හිටපු ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.

එරික් ගාමිණි ජිනප‍්‍රිය
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles