Divaina - ‘20’ ට අත උස්සන්න පෙර ගැඹුරින් හිතන්න... ‘විස්සේ’ සමස්තය ඉදිරියට ගෙනියන්න හොඳ නෑ... කතෝලික රදගුරු සම්මේලනය නිවේදනය කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

200020 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට පෙර එය ගැඹුරින් සලකා බැලීම අත්‍යවශ්‍ය බවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සමස්තයම ඉදිරියට ගෙන නොයා යුතු බවත් ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය වෙනුවෙන් එහි සභාපති අති උතුම් ජේ. වින්ස්ටන් එස්. ප‍්‍රනාන්දු පියතුමාගේ ද එහි මහලේකම් අති උතුම් ජේ. ඞී. ඇන්තනී ජයකොඩි  පියතුමාගේ ද අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ආණ්ඩු වෙනස්වීමත් සමග චපල දේශපාලන හා පාලන මණ්ඩල අභිබවා යන රාජ්‍යයේ පාරිශුද්ධභාවය ආරක්‍ෂා කිරීම සඳහා වන දැඩි සැලකිල්ල බෙදාහදා ගැනීමට ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයට බලවත් වුවමනාවක් දැනේ. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මූලික වශයෙන් වෙස්මිනිස්ටර් වර්ගයේ කැබිනට් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විධායක ජනාධිපති ක‍්‍රමයේ ව්‍යවස්ථාවක් ලෙස වෙනස් කළේය. එදා සිට මේ දක්වා විවිධ හේතු දක්වමින් ඊට සංශෝධන 19 ක් සිදුකර ඇත. කෙසේ වුව ද අප දේශයේ ආර්ථික වර්ධනය, ජාතික ආරක්‍ෂාව, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සහතික කිරීම මෙම සංශෝධන ගෙන ඒමේ ප‍්‍රධාන හේතුව වූ බව කිසිවකුට ප‍්‍රතික්ෂේප කළ නොහැකිය. බැලූ බැල්මට දැනට සලකා බලමින් පවතින 20 වැනි සංශෝධන සිදු කිරීම සඳහා වුව ද මීට වෙනස් වූ කිසිදු හේතුවක් ඉදිරිපත් කර ඇති බවක් නොපෙනේ.

ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමක් හෝ වේවා, එමඟින් සැමවිටකම ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්‍ෂා විය යුතුය. 20 වැනි සංශෝධනයේ අන්තර්ගතය, කෙටුම්පත් කිරීමට නියමිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළට ඇතුළුවීමට ඇති සම්භාවිතාව වැඩිය. එබැවින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේදී ඡුන්දය ප‍්‍රකාශ කිරීමට පෙර එය ගැඹුරින් සලකා බැලීම අත්‍යවශ්‍ය වේ. 1978 ව්‍යවස්ථාව නිර්මාණය වූ දා සිට විධායක ජනාධිපති ධුරය මතභේදයට තුඩු දී තිබේ. 1994 න් පසු පත් වූ සියලූම ජනාධිපතිවරු 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් එයට පවරා ඇති බලතල සමගින් විධායක ජනාධිපති ධුරය අහෝසි කොට එම බලය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තෝරා පත් කර ගත් පාර්ලිමේන්තුවට පැවරීමට පොරොන්දු වූහ. එහෙත් ඒ කිසිවකුට එසේ කිරීමට දේශපාලන අධිෂ්ඨානයක් නොතිබිණි. ඊට හේතු කරුණු ජනතාව නොදන්නවා නොවේ. සංචරණ සහ තුලණවලින් තොරව එක් පුද්ගලයකු වටා බලය සංකේන්ද්‍රනය වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජන රජයකට යහපත් නොවන බව අවධාරණය කිරීමට අපට අවශ්‍යය.

දේශපාලන පක්‍ෂ මත පදනම් වූ පාර්ලිමේන්තුවක් තුළ එහි සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක බහුතර ඡුන්දය ජනතාවගේ සැබෑ හෘදසාක්‍ෂිය අනිවාර්යයෙන්ම පිළිබිඹු කරතැයි සහතික විය නොහැකිය. එබැවින් විනිවිද පෙනෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ සියලූ රටවැසියන්ගේ සමානාත්මතාව සහතික කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ වගකීම ඉටු කිරීම සඳහා සමාජය පිළිගත් අවංකබවින් යුත් බහුතර පුරුෂයන්ගෙන් සහ කාන්තාවන්ගෙන් සමන්විත ස්වාධීන ව්‍යවස්ථා කවුන්සිලයක් පාර්ලිමේන්තුවේ සමස්ත සාමාජිකත්වය විසින් පත් කළ යුතුය. අපගේ අදහස වන්නේ සත්‍යය, සාධාරණත්වය සහ රට ආරක්‍ෂා කිරීම සඳහා නීති පිළිපදින, සුදුසු පුද්ගලයන් හඳුනාගෙන ඡුන්දයෙන් තෝරා ගැනීම හෝ පත් කිරීම කළ යුතුවා මිස ක‍්‍රීඩකයන්ගේ අවිශ්වසනීයත්වය හා අස්ථිරභාවය හේතුවෙන් නීති වෙනස් කිරීම සිදු නොකළ යුතු බවයි. පරම වගකීම වන්නේ මේ රට ඉදිරියට ගෙන යා හැකි යහපත් පාලන ව්‍යුහයක් නිර්මාණය කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තේරී පත් වූ පාර්ලිමේන්තුවට පැවරීමය. බහුවිධ අර්ථ නිරූපණයන්ට තුඩු දෙන කපොලූ වසා දැමීමට ව්‍යවස්ථා කෙටුම්පත් කරන්නන් පරිස්සම් විය යුතුය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පුරවැසියාට සේවයක් සැලසීමට නම් එය වඩාත් පැහැදිලි විය යුතුය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සමස්තයම ඉදිරියට ගෙන නොයා යුතු අතර ඒ වෙනුවට මේ මොහොතේ ජාතික අවධානය යොමු විය යුතු වන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙතය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles