Divaina - පේ‍්‍රමලාල්ට මන්තී‍්‍ර ධුරයක් දරන්න බැරි බවට විපක්‍ෂය කළ කතා හැන්සාඞ් එකෙන් කපන්න... සභා නායක දිනේෂ් ගුණවර්ධන කථානායකගෙන් ඉල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

කුෂාන් සුබසිංහ සහ අකිත පෙරේරා
 
dinesපාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතාට, මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට අයිතිවාසිකම් නොමැති බව හුවා දක්වමින් විපක්ෂ නායක ඇතුළු කණ්ඩායම සිදුකළ කරුණු දැක්වීම් හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා දිවුරුම් දුන් මොහොතේ සිටම ඒ මහතා අවමානයට, අපහාසයට ලක්කරමින් විපක්ෂය උත්සාහ දරන්නේ ඒ මහතාගේ පාර්ලිමේන්තු ගමන වැළැක්වීම බව ද සභානායකවරයා සඳහන් කළේය.
 
 දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා සම්බන්ධයෙන් ඊයේ (11 දා* දිනයේදීත් විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු කණ්ඩායම විසින් දිගින් දිගටම කළ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ කථානායකවරයා විසින් තීන්දුවක් ලබාදී ඇති යම් කරුණක් සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දක්වන්නේනම් ඒ සඳහා විධිමත් ක‍්‍රමවේද ඇති බවත් ඒවා අනුව කටයුතු කරන ලෙසත්ය.
 
 එලෙස සිදු නොකර දිගින් දිගටම දෛනිකව පාර්ලිමේන්තුවේ අනෙකුත් කටයුතුවලට බාධා කරමින් මේ උත්සාහ දරන්නේ පේ‍්‍රමලාල් ජයසේකර මහතාගේ පාර්ලිමේන්තු ගමන වැළැක්වීමට බව ද සභානායකවරයා පැවසීය.
 
 විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා-
 
 සෙල්වරාජා යෝගේෂ්වරන් නම් ටෙලෝ සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළා. එතුමා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තුවට නම් කර ගැසට් කළා. නමුත් එතුමාගේ නම නම් කර එවන විට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු මරණ ද`ඩුවමට ලක්කර තිබුණා. සෙල්වරාජා යෝගේෂ්වරන් විසින් අභියාචනයක් ද ඉදිරිපත් කළා. නමුත් එවකට කථානායකවරයා වූ බාකිර් මාකර් මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව යෝගේෂ්වරන් මහතාට පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව ලබා දුන්නේ නැහැ. බාකීර් මාකර් මහතා බොහොම වැදගත් ලෙස පූර්වාදර්ශයක් ලබා දුන්නා. එලෙස ලබා දී ඇති පූර්වාදර්ශය හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්ති උල්ලංඝනය කරමින් ඔබතුමා කටයුතු කර තිබෙන බවයි මට හැෙ`ගන්නේ. සෙල්වරාජා යෝගේෂ්වරන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රී අසුන අහිමි වූයේ අභියාචනයක් ද සිදුකර තිබියදීයි. එසේ නම් ඒ පූර්වාදර්ශය ඔබ අනුගමනය නොකරන්නේ ඇයි.
 
 කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා-
 
 ඔබතුමා දැන් මෙතැන නැගූ තර්කය නඟන්නට තිබුණේ මෙතැන නෙවෙයි. අභියාචනාධිකරණ උසාවියේදී. ඇපිල් උසාවියේ තීන්දුව අනුවයි අපි කටයුතු කළේ. ඒ තීන්දුව අපට එවා තිබෙනවා. අපි ඒ අනුව කටයුතු කළා.
 
 සජිත් පේ‍්‍රමදාස මහතා-
 
 අපි අධිකරණය ගැනවත් , අධිකරණයට පත්කර ඇති විනිසුරුවන් ගැනවත් විවේචන කරන්නේ නැහැ. කතාවක් ඇති කරමින් තිබෙනවා, අපි එවැනි උත්සාහයක සිටින බවට. අපි එවැනි ආකාරයේ සදාචාර සම්පන්න නොවන ක‍්‍රියාවල නිරත වන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 ට හා
 
 91 ට වඩා ඉහළ එකක් තිබෙනවා ද. මේ තීන්දුව ගන්න උපදෙස් දුන්න අය කවුද කියා මම දන්නේ නැහැ. නමුත් මේ 89, 91 වගන්ති කියවන්නේ නැතිවයි උපදෙස් දී තිබෙන්නේ.
 
 විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-
 
 හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගැන මෙතැන සිදුවූ විභාගය නතර කරන්න කියලා අධිකරණය කිව්වා. නමුත් එවකට කථානායක චමල් රාජපක්ෂ මහතා
 
 එය පිළිගත්තේ නැහැ.
 
 සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා-
 
 විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා යම් කාරණාවක් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුකළා. මේ කාරණාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් නම් කර එවා පාර්ලිමේන්තුවෙහි දිවුරුම් දීමට පැමිණි දිනයේදීත් විවිධ තර්ක මතුකරමින් බාධා කළා.
 
 කථානායකවරයා තීන්දුවක් ලබාදුන් කරුණක් සම්බන්ධයෙන් ඊට එරෙහිව යම් යම් වෙන අදහස්, මතවාද ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා ක‍්‍රමවේද තිබෙනවා. අපි දිනපතා අපේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට ඇති හැකියාව ඇහිරීමට මෙවැනි ආකාරයට හැසිරීම අනුමත කරන්නට බැහැ. මේ තර්ක ගෙන ඒමේ ක‍්‍රමවේදය වැරදියි. ඒක අනුමත කරන්නට බැහැ. මේක සම්ප‍්‍රදාය නෙවෙයි. මෙවැනි කරුණක් වෙනුවෙන් තව තවත් තර්ක ඉදිරිපත් කළ යුතුනම්, විවාද කළ යුතුනම් ඒ සඳහා වෙනම යෝජනාවක් ඉදිරිපත් කරන්න. අපට පුළුවන් ඒ ගැන විවාද කරන්න. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් අවමානයට, අවඥාවට ලක්කරමින් මේ උත්සාහ කරන්නේ ඔහුගේ පාර්ලිමේන්තු ගමන වැළැක්වීමයි. ඒ වගේම එතුමා පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත්වී ජයග‍්‍රහණය කළ අයෙක්. මේ ආකාරයට දිනපතා අවඥාවට, අපහාසයට ලක්කරමින් මේ අය උත්සාහ කරන්නේ ඔහුගේ පාර්ලිමේන්තු ගමන වැළැක්වීමයි.
 
 ඒ වගේම අද තිබෙන්නේ අප අතරින් වියෝ වූ සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනා විවාදයයි. ඒ නිසා ඔබතුමා මේ කරුණ වෙනුවෙන් සවන් දුන්නා. තීන්දුවක් දී තිබෙනවා.
 
 දවස ගානේ මේ කරන්නේ අදාළ මන්ත‍්‍රීවරයාට පීඩාවක් ගෙන දෙන ආකාරයට කටයුතු කිරීමයි. අවස්ථාව දීම වෙනුවට ශෝක යෝජනා විවාදය සඳහා අවස්ථාව ලබාදීම සිදුවිය යුතුයි. යළි යළිත් මේ කාරණය ගැන විපක්ෂයට කටයුතු කරන්නට අවශ්‍යනම් අදාළ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න. අපි ආණ්ඩුව ලෙස ඒ වෙනුවෙන් ඇහුම්කන් දීමට සූදානම්. කතා කරන්නන් වාලේ කතා නොකළ යුතුයි. කොයි පැත්තේ සිටියත් ගෞරවනීය මන්ත‍්‍රීවරු. නමුත් අපේ මන්ත‍්‍රීවරයාගේ අයිතිවාසිකම් නැති බව පෙන්වීමට අදාළව දරන උත්සාහයට විරුද්ධයි. ඒ නිසා ඊට අදාළ ප‍්‍රකාශ හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස මම කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. එලෙස ඉවත් කළ හැකියි. අපේ මන්ත‍්‍රීවරයාට ඇති අයිතිවාසිකම් නැති බව පෙන්වීමට දරන උත්සාහය නතර කළ යුතුයි. අපි කොයි පැත්තේ සිටියත් ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා එම කරුණු හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කරන්න.
 
 සජිත් පේ‍්‍රමදාස මහතා-
 
 කථානායකවරයා කියන්නේ ආඥා දායකයකු නොවෙයි. ඒ නිසා මේ කරුණු එලෙස හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කරන්න එපා කියලා මම කථානායකවරයාගෙන් ඉල්ලනවා.
 
 කතානායකවරයා-
 
 ඒ ගැන පසුව බලන්නම්.


 
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles